චීන විදුලි වාහන නිෂ්පාදක BYD සමාගම, සිය සමාගම විසින් මෑතකදී ප්රකාශයට පත් කරන ලද ගෝලීය වාහන ආපසු කැඳවීම ශ්රී ලංකාවට අදාළ නොවන බවට පැහැදිලි කර තිබෙනවා.
එමෙන්ම, දැනට මෙරට ධාවනය වන කිසිදු BYD මාදිලියකට මෙම තත්ත්වය බලපාන්නේ නැති බවටයි එම සමාගම මෙරට පාරිභෝගිකයින්ට සහතික වී ඇත්තේ.
BYD සමාගම විසින් ආරක්ෂාව සහ නිෂ්පාදන ගුණාත්මකභාවය පිළිබඳ ඉහළ ප්රමිතීන් පවත්වාගෙන යාමේ අඛණ්ඩ කැපවීමක් ලෙස, BYD Tang සහ Yuan Pro වාහන 115,000ක් පමණ ආපසු කැඳවීමට මෑතකදී නිවේදනය කර තිබුණා.
නිවේදනයක් නිකුත් කරමින් BYD සමාගම සඳහන් කළේ, මෙම ආපසු කැඳවීම අදාළ වන්නේ, 2015 මාර්තු 28 සිට 2017 ජූලි 28 අතර නිෂ්පාදනය කරන ලද විශේෂිත BYD Tang වාහන සඳහා පමණක් බවයි.
තවද, 2021 පෙබරවාරි 6 සිට 2022 අගෝස්තු 5 අතර නිෂ්පාදනය කරන ලද ඇතැම් Yuan Pro විදුලි වාහන සඳහා පමණක් බවයි.
මෙම විශේෂිත මාදිලි ශ්රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා දී හෝ අලෙවි කර නොමැති බවයි සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.
ශ්රී ලංකාවේ ඇති සියලුම BYD වාහන ආනයනය, බෙදාහැරීම සහ සේවා සැපයීම සිදු කරනු ලබන්නේ සන්නාමයේ බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (Pvt) Ltd හරහා පමණයි.
දේශීයව අලෙවි කරන වාහනවලට පුළුල් නිෂ්පාදක වගකීම් ආවරණයවන බවත්, ඉහළම ප්රමිතියේ සේවාවක් සහ රැකවරණයක් සහතික කිරීම සඳහා විදුලි වාහන පුහුණුව ලත් කාර්මික ශිල්පීන් සහිත අලෙවියෙන් පසු පහසුකම්වලින් සහාය දක්වන බවත්, සමාගම අවධාරණය කර තිබෙනවා.
“BYD සමාගම ලොව පුරා සිටින සියලුම පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව, විනිවිදභාවය සහ වගකීම් සහගත ක්රියාමාර්ග වෙනුවෙන් කැපවී සිටින” බවයි එම නිවේදනය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීම සඳහා පාරිභෝගිකයින්ට 0112 125 125 ඇමතීමට හෝ [email protected] වෙත විද්යුත් තැපෑලෙන් සම්බන්ධ විය හැකියි.








