කොරෝනා එන්නත්වලින් පිළිකා රෝගීන්ට අලුත් බලාපොරොත්තුවක්

ලොව පුරා භාවිතා වන Pfizer සහ Modea COVID-19 එන්නත්වල අඩංගු වන මෙසෙන්ජර් ආර්එන්ඒ (mRNA) තාක්ෂණය ඇතැම් පිළිකා රෝගීන්ට අලුත් බලාපොරොත්තුවක් ගෙන දී තිබෙනවා.

CNN මාධ්‍ය වාර්තාවකට අනුව හූස්ටන්හි MD Anderson පිළිකා මධ්‍යස්ථානයේ සහ ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත්තේ, මෙම එන්නත් මඟින් පිළිකා රෝගීන්ගේ ආයු කාලය සැලකිය යුතු ලෙස වැඩි කරන බවයි.

පෙනහළු හෝ සමේ පිළිකා සඳහා ප්‍රතිශක්ති චිකිත්සක ඖෂධ ලබා ගත් රෝගීන්, ප්‍රතිකාරය ආරම්භ කර දින 100ක් ඇතුළත Pfizer හෝ Modea එන්නතක් ලබා ගත්තේ නම්, සුවිශේෂී ලෙස දිගු කාලයක් ජීවත් වීමට ඉඩ තිබෙන බවයි එම වාර්තාව සඳහන් කරන්නේ.

උදාහරණයක් ලෙස එන්නත් ලබාගත් පෙනහළු පිළිකා රෝගීන්, එන්නත් නොකළ අයට වඩා පිළිකා ප්‍රතිකාරය ආරම්භ කර වසර තුනකට පසුවත් ජීවත්වීමේ සම්භාවිතාව දෙගුණයක් පමණ වී ඇති බවයි වාර්තා වන්නේ.

පර්යේෂකයන්ගේ නිගමනය වන්නේ, මෙම වාසිය COVID-19 ආසාදනවලින් වැළකීම සමඟ සම්බන්ධයක් නොමැති බවයි.

ඒ වෙනුවට, එන්නතේ ඇති mRNA අණුව, ප්‍රතිශක්තිකරණ සෛල සක්‍රීය කිරීමට ‘සයිරන් එකක් මෙන් ක්‍රියා කරන’ බව ඔවුන් විශ්වාස කරනවා.

එන්නත් කරන ලද mRNA මඟින් ප්‍රතිශක්තිකරණ සෛල තවදුරටත් උත්තේජනය කර, පිළිකා සෛල හඳුනා ගැනීමට සහ විනාශ කිරීමට ඇති හැකියාව තීව්‍ර කරන බව පෙනී යන බවයි සඳහන් වන්නේ.

මෙම යහපත් ප්‍රතිඵල හේතුවෙන්, පර්යේෂණ කණ්ඩායම දැන් mRNA කොරෝනා වයිරස් එන්නත් පිළිබඳ වඩාත් දැඩි අධ්‍යයනයක් කිරීමට සූදානම් වනවා.

මෙහි අවසාන අරමුණ වන්නේ, පිළිකා ප්‍රතිකාර සඳහා විශේෂිත වූ නව mRNA එන්නත් සැලසුම් කිරීමට මෙම දැනුම මූලික පියවරක් ලෙස යොදා ගැනීමයි.