ශුද්ධ පොලී ආන්තිකය අඩු කිරීමට මහ බැංකුවෙන් පියවර

බැංකු පද්ධතියේ ශුද්ධ පොලී ආන්තිකය (Net Interest Margins – NIM) දැනට පවතින සියයට 4 ඉක්මවූ මට්ටමේ සිට පහළ දැමීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, වාණිජ බැංකු සමග එක්ව කටයුතු කරමින් සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඊයේ (23) පවසා තිබෙනවා.

ඉහළ බදු සහ ඉහළ අක්‍රීය ණය (Non-Performing Loans) මට්ටම් හේතුවෙන් ශුද්ධ පොලී ආන්තිකය ඉහළ ගොස් ඇති බවයි මහ බැංකු අධිපතිවරයා පෙන්වා දී ඇත්තේ.

වර්තමානයේ බැංකු අංශයේ ලාභදායීත්වය සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින බවත්, එයට හේතුව අර්බුදකාරී සමයේදී අංශයට සිදුවූ බලපෑම හේතුවෙන් ශුද්ධ පොලී ආන්තිකය ඉහළ යාම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සඳහා වෙන්කළ ප්‍රතිපාදන ආපසු හැරවීම බවත්, ඔහු සඳහන් කරනවා.

මහ බැංකු වාර්තාවලට අනුව, බැංකු අංශය 2024 වසරේ පළමු අර්ධයේදී රුපියල් බිලියන 111.8ක් වූ බදු පසු ලාභයට සාපේක්ෂව, මෙම වසරේ පළමු අර්ධයේදී සියයට 67.8ක සැලකිය යුතු වර්ධනයක් වාර්තා කරමින් රුපියල් බිලියන 187.5ක ලාභයක් වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම ලාභදායී මට්ටම ක්‍රමයෙන් පහළ යමින් පවතින බව පෙන්වා දෙන මහ බැංකු අධිපතිවරයා, ආර්ථික ස්ථායීතාව සහ ‘තෙවන අදියරේ ණය’ (Stage 3 loans) අඩු වීමත් සමග ශුද්ධ පොලී ආන්තිකය ඉතිහාසගත සාමාන්‍යය වූ සියයට 3.5ට වඩා අඩු මට්ටමකට ගෙන ඒමට බලාපොරොත්තු වන බව පැවසුවා.

දැනට පවතින සියයට 4ක මට්ටම සියයට 0.5කින් පමණ ඉහළ අගයක් බවයි හෙතෙම සඳහන් කළේ.

ශුද්ධ පොලී ආන්තිකය තවදුරටත් අඩු කිරීම සඳහා, මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව (FCRD) විසින් බැංකුවලට වැඩි හෙළිදරව් කිරීම්, විනිවිදභාවය සහ තරඟකාරීත්වය ගෙන ඒම සඳහා නව නියාමන හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින බවද ආචාර්ය වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළා.