සෙව්වන්දි රටින් පැන්නූ ආනන්දන් සැඟවූ ගිනි අවි යාපනයෙන් හමුවෙයි

ඉෂාරා සෙව්වන්දිට රටින් පළා යෑමට උදව් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ආනන්දන් නමැත්තා විසින් සඟවා තිබු ගිනි අවි දෙකක් යාපනය ප්‍රදේශයෙන් සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත්ව තිබෙනවා.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු විසින් සඟවා තිබූ මෙම ගිනි අවි දෙක සොයා ගැනීමට විමර්ශන නිලධාරීන් සමත් වුණා.

පොලිසිය පැවසුවේ යාපනය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී එම ගිනි අවි දෙක අද පෙරවරුවේ සොයාගත් බවයි.

පිස්තෝල වර්ගයේ ගිනි අවි දෙකක් එලෙස සොයා ගත් අතර, එම ගිනි අවි ඔහුට ලැබුණු ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් කරුණු අනාවරණ වී නැහැ.

පොලිසිය සැකකරන්නේ එම ගිනිඅවි එල්.ටි.ටි.ඊ.සංවිධානය භාවිත කළ ඒවා බවට සැකකරන බවයි.

ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්නගේ උපදෙස් මත කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසාගේ මෙහෙයවීම යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනවා.

මේ අතර, කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා සිටින ඉෂාරා සෙව්වන්දිට රටින් පළා යෑමට සහාය දැක්වු පුද්ගලයින් සම්බන්ධයෙන් සහ ඔවුන් විසින් සිදුකළ අපරාධ සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන සිදුකෙරෙමින් පවතිනවා.

ඒ අනුව ඉෂාරා සෙව්වන්දිගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඇයට ඉන්දියාවට පළා යෑමට සහාය දැක්වූ ප්‍රධානතම ජාවාරම්කරු ලෙස සැලකෙන ආනන්දන් නමැත්තෙකු කිළිනොච්චිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය පසුගියදා සමත් වුණා.

විමර්ශන නිලධාරීන් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී අනාවරණ වී ඇත්තේ, ඉෂාරා සෙව්වන්දි කිළිනොච්චියේ සිට යාපනයට රැගෙන ගොස් බෝට්ටුවක් ආධාරයෙන් ඉන්දියාවට යැවීම සඳහා කෙහෙල්බද්දර පද්මේ විසින් ඔහුට රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබා දී ඇති බවයි.

යාපනයේදී බෝට්ටුවට නැගි ඉෂාරා එතැන් සිට ඉන්දියාවට ගෙන ගොස් ජේ.කේ. බායි නමැත්තාට බාර දීමේ වගකීම ජැෆ්නා සුරේෂ් නමැත්තාට පැවරී තිබු අතර, ඒ වෙනුවෙන්ද පද්මේ විසින් ඔහුට ගෙවීම් සිදුකර ඇති බව විමර්ශන නිලධාරීන් සඳහන් කළා.