ක්‍රෙඩිට් කාඩ් වියදම් ඉහළට – අගෝස්තු මාසයේ ණය රුපියල් බිලියන 2.9 කින් වැඩිවෙයි

ශ්‍රී ලංකානු ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ගේ වියදම් කිරීමේ රටාව අගෝස්තු මාසයේදී ඉහළ ගොස් තිබෙනවා.

එය ව්‍යාප්ත වන ආර්ථිකය මධ්‍යයේ පාරිභෝගික විශ්වාසය වැඩිවීම සහ ගෘහ ආදායම් වැඩිදියුණු වීම පිළිබිඹු කරන බවයි වාර්තා වෙන්නේ.

මෙම මාසය තුළදී ක්‍රෙඩිට් කාඩ් ණය ප්‍රමාණය රුපියල් බිලියන 2.89 කින් ඉහළ ගොස් ඇති අතර, එය පෙර මාසයේ (ජූලි) වාර්තා වූ රුපියල් මිලියන 373 හා සසඳන විට තියුණු වැඩිවීමක්.

සමස්ත පුද්ගලික අංශයේ ණය වර්ධනය අඛණ්ඩව වේගවත් වීමත් සමඟ මෙම වැඩිවීම සිදුවී ඇති අතර ජූනි මාසයේදී බලපත්‍රලත් වාණිජ බැංකු විසින් පුද්ගලික අංශයට ලබා දුන් සමස්ත හිඟ ණය ප්‍රමාණය රුපියල් බිලියන 221.6 කින් ඉහළ ගොස් තිබෙනවා.

එයට පසු ජූලි සහ අගෝස්තු යන අඛණ්ඩ මාස දෙකේදීම රුපියල් බිලියන 200 ඉක්මවන නව ණය ප්‍රමාණයක් නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.