අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි අතර, උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඌව පළාතේත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (40-50)ක පමණ තද සුළං ඇති විය හැකියාව පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.