අමාත්‍යවරයෙක් වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට ආසන්න වත්කම් සහ මුදල් අයථා ලෙස අත්පත් කර ගත්තේ යැයි චෝදනා කරමින්, හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව විභාගයට ගැනීම සඳහා කොළඹ මහාධිකරණය විසින් අද (22) දින නියම කර තිබෙනවා.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, අදාළ නඩුව දෙසැම්බර් 18 සහ ජනවාරි 20 යන දිනවල විභාගයට ගැනීමට විනිසුරුවරයා දින නියම කර ඇති බවයි සඳහන් වන්නේ.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් අසාද් නවාවි අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම නඩුවට අදාළව විත්තිය වෙත ලබාදිය යුතු ලේඛන සියල්ල මේ වන විට ලබා දී තිබෙන බවට සඳහන් කර තිබෙනවා.
අදාළ ලේඛන පරීක්ෂාවට ලක් කළ යුතු බව සඳහන් කළ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ, ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර, ඒ අනුව අදාළ නඩුව විභාගයට ගැනීම සඳහා විනිසුරුවරයා දින නියම කර ඇති බවයි සඳහන් වන්නේ.
2010 වසරේ සිට 2015 වසර දක්වා කාලසීමාව තුළ රජයේ අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින්, සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට ආසන්න වත්කම් සහ මුදල් අත්පත් කර ගැනීම තුළින්, අල්ලස් පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කර, අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ හිටපු අමාත්‍ය විමල් වීරවංශට මෙම නඩුව පවරා තිබෙනවා.