මෙරට අපරාධකරුවන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන යන මහමොළකරු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කිලිනොච්චිය ප්රදේශයේදීයි.
ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි පසුගිය සෙනසුරාදා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කිලිනොච්චිය ප්‍රදේශයට සහ යාපනයට රැගෙන ගොස් තිබුණා.
ඒ ඇයට සංජීව ඝාතනයෙන් පසුව සැඟවී සිටීමට නවාතැන් සැපයූ ස්ථාන පරීක්ෂා කිරීම සඳහායි.
ඇය එම ප්‍රදේශවල දින 3ක් රැඳී සිට අනතුරුව මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලාගොස් තිබූ බවටයි අනාවරණය වුණේ.
ඒ අනුව ඇයට නවාතැන් පහසුකම් සැලසූ පුද්ගලයන් සිව්දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිීරීම්වලින් පසුවයි මෙලෙස මහ මොළකරුවා ලෙස හැදින්වෙන මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණේ.
ඔහු සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීමේදී හෙළිවී ඇත්තේ, මෙරට සිටි අපරාධකරුවන් රැසක් එම පුද්ගලයා විසින් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන ගොස් ඇති බවයි.
මේ අතර නේපාලයේ සැඟව සිටියදී අත්අඩංගුවට මෙරටට ගෙනවිත් රඳවා ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දිනේෂ් නිශාන්ත කුමාර නොහොත් ”ගම්පහ බබා” නැමැත්තාට අයත් ජංගම දුරකථන වලට අදාළ වාර්තා කැළණිය අපරාධ කොට්ඨාසය වෙත ලබා දෙන ලෙස දුරකථන සමාගම් කිහිපයක් වෙත කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.ඩී.ඩී.ජේ ප්‍රේමරත්න ඊයේ නියෝග කළාය.
වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කැළණිය අපරාධ කොට්ඨාසය සිදු කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙම නියෝගය සිදුකළා.
කෙහෙල්බද්දර පද්මේ නමැති අපරාධකරුගේ මග පෙන්වීම හා මෙම සැකකරුගේ මෙහෙයවීම මත මෙරට තුළ සිදු කර තිබෙන මනුෂ්‍ය ඝාතනවලට අදාල ගිනි අවි පතොරම් කීපයක් අත්අඩංගුවට ගෙන ඇති බවත් සෙසු ගිනි අවිද අත්අඩංගුවට ගැනීම සඳහා සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් පවතින බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
මෙම සැකකරු රාජ්‍ය සංවිධාන සමඟ සම්බන්ධතා පවත්වමින් ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවමින් ගිනි අවි මෙරටට ලබාදීමට කටයුතු කර ඇති බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාලය ව්‍යාප්ත කිරීමට අමතරව මනුෂ්‍ය ඝාතන සඳහා අවශ්‍ය ගිනි අවි සපයා ඇති බවට කරුණු අනාවරණය වන බවත් සැකකරු දින 90 රඳවා ප්‍රශ්න කරන බවත් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියා.
මේ අතර විදේශයන්හි සැඟව සිටිමින් මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් මෙහෙයවන බව කියන දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිව සිටි සෙහාන් සත්සර හෙවත් දෙහිබාලේ මල්ලි හා ඔහුගේ සොහොයුරා වන තුෂාන් නෙත්සර හෙවත් කළු මල්ලි වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා.
මීට අමතරව මෙම සැකකරුවන්ට විදෙස් ගමන් තහනමක් පැනවීමට ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම නියෝග කරනු ලැබුවා.
දකුණු මුහුදු තීරයේ පාවෙමින් තිබීයදී නාවික හමුදාව විසින් අයිස්, හොරොයින් සහ හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839.254ක් පසුගියදා සිය භාරයට ගෙන තිබුණා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණය දැනුම් දී ඇත්තේ එම මත්ද්‍රව්‍ය තොගය රටට රැගෙන ඒම දෙහිබාලේ මල්ලි හා කළු මල්ලි විසින් සිදුකර තිබෙන බව විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවයි.
මෙම සැකකරුවන් ඩුබායි හෝ වෙනත් විදේශීය රාජ්‍යයක සැඟවී සිටිමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවද පොලීසිය ප්‍රකාශ කළා.
එම පුද්ගලයින් දෙදෙනාගේ දුරකථන විස්තර වාර්තා කැඳවීමට නියෝගයක් ලබාදෙන ලෙසයි පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
ඊට අමතරව අදාළ සිද්ධිය පිළිබඳව අත්අඩංගුවට ගත් ධීවරයින් පස්දෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ