ට්‍රම්ප්-පුටින් හමුව කල්යයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු නායක ව්ලැඩිමීර් පුටින් සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල් දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, එම හමුව “කාලය නාස්ති කිරීමක්” නොවන බව තහවුරු කර ගැනීමට අවශ්‍ය බව පවසමින්.

ජනපති ට්‍රම්ප් ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ, “මට අවශ්‍ය නැහැ නාස්ති වූ රැස්වීමක්” බවයි.

හංගේරියාවේ බුඩාපෙස්ට්හිදී පැවැත්වීමට නියමිතව තිබූ මෙම හමුව කල් දැමීමට තීරණය කර ඇත්තේ, අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් අතර සඳුදා පැවති දුරකථන සංවාදයකින් පසුවයි.

යුක්රේන යුද්ධය විසඳීමට ට්‍රම්ප් දරන උත්සාහයේ නවතම පෙරළිය මෙය වන අතර, යුරෝපා නායකයින් මෙය සහනයක් ලෙස දකිනු ඇති.

යුරෝපා නායකයින් කියා සිටින්නේ, පුටින් රාජ්‍ය තාන්ත්‍රිකත්වය ඔස්සේ කාලය ලබා ගැනීමට උත්සාහ කරන බවයි.