අග්නිදිග විශ්වවිද්‍යාල සිසුන්ට අද සිට ‘ඔන්ලයින්’ පන්ති

නේවාසික පහසුකම් නොමැති අග්නිදිග විශ්වවිද්‍යාලයේ, ව්‍යවහාරික විද්‍යා පීඨයේ සිසුන්ට මාර්ගගතව අද සිට අධ්‍යයන කටයුතු සිදු කිරීමට නියමිත බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය ප්‍රකාශ කළා.

ව්‍යවහාරික විද්‍යා පීඨයේ, 2022 සහ 2023 අධ්‍යයනය වසරවල සිසුන් 125 දෙනෙකු පමණ නේවාසිකාගාර පහසුකම් නොමැති වීම හේතුවෙන් එහි ආපනශාලාවක පෙරේදා රැය පහන් කර තිබුණා.

මෙම සිසුන් නේවාසික පහසුකම් ඉල්ලා ඊයේ දහවල් විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල අසල සිට සිය විරෝධය ද පළ කළා.

මෙම ගැටලුව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය අග්නිදිග විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ පීඨාධිපති මහාචාර්ය එච්. එම්.එම්. නලීර්ගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ තාවකාලික විසදුමක් ලෙස සිසුන්ට මාර්ගගතව අධ්‍යයන කටයුතු සිදු කිරීමට අවස්ථාව ලබා දීමට තීරණය කළ බවයි.

මේ අතර කඹුරුපිටිය – මාපලානේ පිහිටි රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ දෙවන සහ තුන්වන වසරේ සිසුන් අතර හටගත් ගැටුමට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් 21 දෙනා මේ මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක වෙත ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.