ව්‍යාපෘති අරඹන්න ගත් ඩොලර් කෝටි 600කට වෙච්ච දෙයක් නෑ

පසුගිය කාලයේදී ව්‍යාපෘති ණය ලෙස රටට ලබා­ගත් අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 8ක මුද­ල­කින් ඩොලර් බිලි­යන 6ක මුද­ල­කට සිදු වූ දෙයක් නොමැති බවත් ඒ මුදල් කවු­රුන් හෝ අත්පත් කර­ගෙන තිබෙන බවත් මහ­ජන ආර­ක්ෂක හා පාර්ලි­මේන්තු කට­යුතු ඇමැති ආනන්ද විජේ­පාල මහතා ප්‍රකාශ කළේය. අප­රා­ධ­ය­කින් උත්පා­දිත දේ විම­ර්ශන කොට්ඨා­සය විවෘත කිරීමේ අව­ස්ථා­වට ඊයේ (20) එක් වෙමින් ඒ මහතා මේ බව පැව­සු­වේය. ව්‍යාපෘති ණය ලෙස අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 8ක් ලබා­ගෙන තිබුණ ද වත්කම් ලෙස තිබුණේ, අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 2කටත් අඩු මුද­ලක් බව විගණකාධිපති වාර්තාවක සඳහන්ව තිබූ බව ඒ මහතා කීය. ඉතිරි ඩොලර් බිලි­යන 6ට සිදු වූ දෙය නොදන්නා නමුත් අප­රා­ධ­ය­කින් උත්පා­දිත දේ පිළි­බඳ පන­තින් ඒ සියල්ල යළි අත්පත් කර­ගැ­නී­මට හැකි­යාව ඇති බවත් ඇමැ­ති­ව­රයා කීවේය. මහ­ බැංකු බැඳු­ම්කර සිද්ධිය වැනි වංචා නිසා ඇතැම් අයට මූල්‍ය ප්‍රති­ලාභ හිමිව තිබෙන බව ද මේ පනත යටතේ ඒ සම්බ­න්ධ­යෙන් ද විම­ර්ශන කාර්ය­ක්ෂම වනු ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේය. එමෙන්ම යමකු නීති විරෝ­ධිව මුදල් උපයා යම් යම් දේපොළ හෝ වෙනත් දෑ අත්පත් කර­ගැ­නී­මට උත්සාහ දරන්නේ නම්, ඒවා මැඬ­පැ­වැත්වීමට ද මෙම පනත මඟින් හැකි­යාව ලැබෙන බව ද ඒ මහතා කිවේය. මෙය ඉතා සුවි­ශේෂි පන­තක් වෙනවා. මෙම­ඟින් නීතිය කඩි­න­මින් ක්‍රියා­ත්මක කිරී­මට හැකි­යාව ලැබෙ­නවා. මේ රටට දැන් අලුත් පනත් නැතත් මේ පනත මඟින් සංවි­ධා­නා­ත්මක අප­රා­ධත්, මත්ද්‍ර­ව්‍ය­යත් යම් ප්‍රමා­ණ­ය­කින් මැඬ පව­ත්ව­න්නට හැකි­යාව ලැබෙ­නවා.

යම් අයෙක් නීති විරෝ­ධීව මුදල් උප­ය­නවා නම් හෝ ඒ මුදල් මඟින් තවත් බොහෝ දෑ උපයා ගැනී­මට කට­යුතු කරන්නේ නම්, ඒ උත්සාහ ව්‍යාර්ථ කීරී­මට මේ පනත මඟින් හැකි­යාව ලැබෙන බව ද හෙතෙම මෙහිදී පැව­සු­වේය.

රන්මලී සෝම­සිරි