කබ්බෝ ෆෝම් කරන්න එපා කියන පොලීසියම ඒක කරනවා

කබ්බෝ ෆෝම් කරන්න එපා යැයි මාධ්‍ය ආයතනවලට කියන පොලීසියම අපරාධවලට සම්බන්ධ පාතාල නායකයින් මහා බුද්ධිමතුන් හා වීරයින් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පත්කරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක පවසනවා.

පාතාලය හා මත්ද්‍රව්‍ය මර්දනය අභ්‍යන්තරයෙන් සිදුකළ යුතු දෙයක් මිස සංදර්ශන කරමින් ලකුණු දාගන්නා වැඩපිළිවෙළක් නොවිය යුතු යැයිද ඔහු පැවසුවා.

මහනුවර දී ඊයේ (20) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මෙසේ ද පැවසුව‍ා.

“පාතාල නායකයින් අත්අඩංගුවට ගැනීම මාධ්‍ය සංදර්ශන බවට පත්කර ගැනීම සම්බන්ධයෙන් පොලීසිය වග කියන්න ඕන. කබ්බෝ ෆෝම් කරන්න එපා කියන පොලීසියම අනෙක් පැත්තෙන් මේ කරන්නේ කබ්බෝ ෆෝම් කිරීමයි. අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් සමාජ මාධ්‍යවල වීරයෝ, වීරවරියෝ බවට පරිවර්තනය කරන්නේ පොලීසියමයි. මේවා ඇත්තටම අභ්‍යන්තරිකව කරන්න ඕන වැඩ මිස ප්‍රසිද්ධියේ සමාජ මාධ්‍යවල තමන්ට ලකුණු දාගැනීමට කරන්න ඕන වැඩ නෙවෙයි.

පාතාලය හා මත්ද්‍රව්‍ය මර්දනය කරන අවංක වුවමනාවක් තිබෙනවා නම් පළමුවෙන්ම දේශපාලන වාසි ගන්න එක නතර කරන්න ඕන. නිශ්චිත තොරතුරු නොමැතිව මේක කළේ අහවල්ලු කියලා දේශපාලන පක්ෂවලට ඇඟිල්ල දික් කරන එක නතර විය යුතුයි. ඊළඟට මේ අත්අඩංගුවට ගන්න පාතාලයේ පුද්ගලයින් මහා වීරවරයෝ, බුද්ධිමත්තු කියලා ලෝකයට පෙන්වන එක වලක්වන්න ඕන. තුන්වන එක මේ පාතාලය හා මත්කුඩු මර්දනය කිරීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමයි. එහෙම වුණොත් තමයි අපේ දරුවෝ මේ ව්‍යසනයෙන් ගළවා ගැනීමට හැකියාව ලැබෙන්නේ. සංදර්ශන මානසිකත්වයෙන් පොලිසියත් ආණ්ඩුවත් අයින් වෙන්න ඕන.

පාතාලය හා මත්ද්‍රව්‍ය මර්දනය කිරීම ඉතාම බලගතුම හා දැවෙන අවශ්‍යතාවක්. මම තමයි 2005 මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ‘මතට තිත’ කියන එක දැම්මේ. ඒක කරන්න අවශ්‍යය ප්‍රතිපාදන අපේ ඕමල්පේ සෝභිත හාමුදරුවෝ තමයි පාර්ලිමේනතුවට ගෙනල්ලා සම්මත කළේ. පාතාලය හා මත්ද්‍රව්‍ය මර්දනය කරන්න හැම රජයක්ම උත්සහ කළා. ඒ සඳහා මේ රජය ගන්නා උත්සහය අපි අගය කරනවා. මේ ක්‍රියාත්මක වැඩපිළිවෙළ ප්‍රතිඵලදායක බව අපිට පේන්න නම් රටේ යම් මත්ද්‍රව්‍ය හිඟයක් ඇතිවෙන්න ඕන. මත්ද්‍රව්‍ය පතුරන අයගේ ධනය හිඟ වෙන බවක් පේන්න ඕන. තාමත් එහෙම තත්ත්වයක් පේන්න නැහැ. මත්ද්‍රව්‍යවලට එරෙහිව කළ අරගලය අගයමින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්මානයක් දුන්නා. ඒ කාලයේදීත් ටොන් ගණන් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත්තා. මදුෂ්ලා වගේ අය අත්අඩංගුවට ගත්තා. නමුත් ප්‍රශ්නය කෙළවර වුණේ නැහැ. මේ ආණ්ඩුව දේශපාලනික වශයෙන් පටු වාසි ගැනීම පසෙක තබා මේ උවදුර නැති කරන්න අවංකව කැප වෙනවාද කියලා අපි විමසිල්ලෙන් සිටිනවා.”