අද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මහ වැසි

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය  අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බවත්, එහි බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, එහි ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.