දීපාවලී දිනය අදයි

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපාවලී දිනය අදට (20) යෙදී තිබෙනවා.

ඉන්දියානු සංස්කෘතික උත්සව අතරින් ප්‍රධාන ස්ථානයක් ගනු ලබන දීපාවලී දිනය හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් ලෙස සැලකෙනවා.

විෂ්ණු දෙවියන් විසින් නරගාසුරන් නමැති අසුරයා පරාජය කර ආලෝකය පැතිරවීම සිහිපත් කිරීම දීපාවලී උත්සවයේ අරමුණ වන අතර, අඳුර පහව ගොස් ආලෝකය උදාවේවා යැයි ප්‍රාර්ථනා කරමින් හින්දු බැතුමතුන් විසින් තම නිවෙස්වල පහන් දල්වා මෙම උත්සවය සැමරීම සිදු කරනවා.

දීපවාලිය සැබැවින්ම ආලෝක පූජාවක් වන අතර, ඒ වෙනුවෙන් සෑම නිවසක්ම එළි කරමින් දැල්වෙන පහන් සිළෙන් මෙරට ජනතාව ‘පොහොසත් රටක් – ලස්සන ජිවිතයක්’ කෙරෙහි තැබූ අපේක්ෂා ඉටු වේවායි පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

මේ අතර, දීපාවලි දිනයේ දැල්වෙන පහන් ආලෝකය, ආර්ථික පුනරුදයට සහ සමාජ සංහිඳියාවට මූල බීජ වැපිරීමට මඟ පෙන්වන ප්‍රඥා ආලෝකයක් වේවායි දීපාවලි දින පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

යහපත් සමාජයක පැවැත්ම සඳහා අසත්‍යයෙන් සත්‍යයට, අවිද්‍යාවෙන් විද්‍යාවට සමාජය රැගෙන එන ආලෝකයක් වන වැඩපිළිවෙල සඳහා කැපවීම අවශ්‍ය බවයි දීපාවලි දින පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.