විවිධ ගැටළු නිසා රේගුව භාරයේ ඇති ලුණු තොග ප්‍රතිඅපනයනය කරන ලෙස ආනයනකරුවන්ට දැනුම්දෙයි

ගැටලු සහගත තත්ත්වයන් හේතුවෙන් රේගුව විසින් රඳවාගෙන සිටින ලුණු මෙට්‍රික් ටොන් 23,500ක තොගයක් ප්‍රතිඅපනයනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආනයනකරුවන් වෙත දැනුම් දී ඇති බව රේගු දෙපාර්තමේන්තුව පවසනවා.

ලුණු ආනයනය කිරීමට අවසර ලබා දුන් කාලසීමාවෙන් පසු මෙරටට ගෙන්වන ලද හා ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු මතුවූ ලුණු තොගයක් මෙලෙස රේගුව විසින් නිදහස් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවයි සඳහන්.

රට තුළ ඇති වූ ලුණු හිඟයට විසඳුම් ලෙස ලුණු ආනයනය කිරීමට රජය තීරණය කළ අතර, ඒ සඳහා රාජ්‍ය අංශයට මෙන්ම පෞද්ගලික අංශයට ද අවසර ලබා දී තිබූ අතර, ඒ සඳහා ලබා දී තිබූ කාලසීමාව පසුගිය ජුනි මස 10 වැනි දිනෙන් අවසන් වී තිබුණා.

එම දිනයෙන් පසුව මෙරටට ගෙන්වූ සහ ප්‍රමිතිය පිළිබඳ ගැටලු මතුවූ ලුණු තොගයක් මෙලෙස රේගුවේ පවතින බවත්, නියමිත දිනයෙන් පසු ආනයනය කරනු ලබන ලුණු තොග යළි ප්‍රතිඅපනයනය කළ යුතුව පවතින බැවින් මෙම ලුණු තොග ප්‍රතිඅපනයනය සඳහා පියවර ගන්නා ලෙස රේගු දෙපාර්තමේන්තුව ආනයනකරුවන් වෙත දැනුම් දී ඇති බවයි වැඩිදුරටත් සඳහන්.