පවතින අධික වර්ෂාපතනය හමුවේ රාජාංගනය ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
වර්ෂාපතනය සමග එම ජලාශවල ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ යන බැවින් මෙම පියවර ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
මේ හේතුවෙන්, එම ජලාශයන් හි ජල ප්රමාණයන් කළමනාකරණය කර ගැනීම සඳහා, රාජාංගනය ජලාශයේ වාන් දොරටු දෙකක් අඟලක් බැගින්ද, අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් අඟල් 3 බැගින්ද විවෘත කිරීමට පියවර ගත් බව වාරිමාර්ග අධ්යක්ෂක, ජල කළමනාකරණ ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී. හේරත් සඳහන් කර සිටියා.
මෙහිදී රාජාංගන ජලාශයෙන් තත්පරයට ඝන අඩි 520 ක ජල ප්රමාණයක්ද, අංගමුව ජලාශයෙන් තත්පරයට ඝන අඩි 1790 ක ජල ප්රමාණයක්ද පහළ නිම්නයන් වෙත නිකුත් කරන බවයි ඔහු පවසා සිටියේ.
මීට අමතරව බදුල්ල දිස්ත්රික්කයේ අඹේවෙල සහ බෝඹුරු ඇල්ල ජලාශය ද, මොනරාගල දිස්ත්රික්කයේ සුගලා දේවි ජලාශය ද, හම්බන්තොට දිස්ත්රික්කයේ දෙබරවැව ජලාශය ද සුළු මට්ටමින් වාන් දමමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් ප්රකාශ කර තිබෙනවා.