වර්ණවීරගේ මරණය ගැන විවෘත තීන්දුවක්: ශරීර කොටස් රස පරීක්ෂකට

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීරගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දෙමින් ශරීර කොටස් රස පරීක්ෂක වෙත යොමු කිරීමට මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ප්‍රභාත් සේනසිංහ නියෝග කර තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (17) මහනුවර ජාතික රෝහලේ දී පැවැත්වීමෙන් අනතුරුව දේහය වර්ණවීර මහතාගේ බිරිඳ වන ජානකී අබේසිංහ වෙත බාර දී තිබෙනවා.

ජයනන්ද වර්ණවීරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (18) පස්වරු 3.00 ට මහනුවර මහයියාවේ දී සිදුකළ බව පොලීසිය පැවසුවා.

ඔහු කටුගස්තොට රණවන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ දී මියයන විට 64 වැනි වියේ පසුවුණා.

ගාල්ල මහින්ද විදුහලේ ආදි සිසුවකු වන ඔහු, 1986 දී පකිස්තානයට එරෙහිව මංගල ටෙස්ට් ක්‍රිකට් තරඟයට ක්‍රීඩා කරමින් ටෙස්ට් වරම් දිනා ගත්තා.

ටෙස්ට් ක්‍රිකට් 10කට හා එක්දින ක්‍රිකට් තරග 06කට ක්‍රීඩා කර තිබෙන ඔහු, ක්‍රිකට් දිවියෙන් සමුගැනීමෙන් පසු කලක් ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ භාරකරු ලෙස ද කටයුතු කළා.