ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (17) එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම එරට ඉහළ පෙලේ නියෝජිතයින් සමග ද අග්‍රාමාත්‍යවරිය සාකච්ඡා සිදුකරන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.
අග්‍රාමාත්‍යවරිය ඊයේ දිල්ලි විශ්වවිද්‍යාලයීය හින්දු විද්‍යාලයේ පැවති වැඩසටහනකට එක්වූ අතර, ඇය එහි ආදී විද්‍යාර්ථයෙකු ද වනවා.
එමෙන්ම, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ද හමුවුණා.
මෙම හමුව පිළිබඳව අදහස් දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ, නවදිල්ලියේදී ශ්‍රී ලංකා අගමැතිනිය හමුවීමට ලැබීම සතුටට කරුණක් බවයි.
එමෙන්ම, ඉන්දියාව ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය දැක්වීම සහ අධ්‍යාපනය සහ ධාරිතා වර්ධනය සඳහා සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව ද සාකච්ඡා කළ බවයි ඔහු සිය එක්ස් සටහනෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.
මේ අතර, කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවරා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය සමග සාකච්ඡා කරන ලෙස ඉල්ලා තමිල්නාන්ඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය මුකාෂ් ස්ටාර්ලින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
එසේම, ඉන්දීය ධීවරයින් සහ ධීවර යාත්‍රා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කරන ලෙසයි ඔහු එම ලිපියෙන් ඉල්ලා ඇත්තේ.








