හම්බන්තොට වරායේ කෝටි 14ක බදු පොල්ලක්

හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIPG) හම්බන්තොට මහ නගර සභාවට ගෙවිය යුුතුව තිබූ වරිපනම් බදු රුපියල් කෝටි 14 කට ආසන්න මුදලක් ගෙවා නැතැයි හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති ඩී.ඒ ගාමිණී (ස.ජ.බ) පැවසුවා.

එය 2017 වසරේ සිට මේ දක්වා වන බදු මුදල් බවද ඔහු පැවසුවා.

මේ සම්බන්ධයෙන් වරාය කළමනාකාරිත්වය සමඟ ඉකුත් සතියේ පැවැති සාකච්ඡාවක දී දැන ගැනීමට හැකි වූයේ එම වරිපනම් බදුවලින් රුපියල් ලක්ෂ 10 ක පමණ මුදලක් මාර්ග ගත ක්‍රමය යටතේ සාකච්ඡාවට ආසන්න දිනයකදී හම්බන්තොට මහ නගර සභාවේ ගිණුමට බැරකර කර ඇති බව ද ඔහු සඳහන් කළා.

එම මුදල මහ නගර සභාවේ ගිණුමට බැර වි ඇති බව නාගරික කොමසාරිස්වරයා විසින් තහවුරු කර ඇති බවද නගරාධිපතිවරයා පසුගිය දා පැවැති හම්බන්තොට මහ නගර සභාවේ මාසික සභා රැස්වීමේ දී පැවසුවා.

2017 වසරේ සිට හම්බන්තොට ජාත්‍යන්තර වරාය හම්බන්තොට මහ නගර සභාවට වරිපනම් බදු මුදල් ගෙවීමට අදාළ තක්සේරුව සිදුකර එක් කාර්තුවකට රුපියල් ලක්ෂ 60 ක පමණ මුදලක් අය කර ගැනිමට කටයුුතු කර තිබුණා.

මේ සම්බන්ධයෙන් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) පිරිස් කළමනාකරු ජීවන් ප්‍රේමසරගෙන් කළ විමසීමක දි ඒ මහතා කියා සිටියේ වරිපනම් මුදල් ගෙවීමට බැඳි සිටින නමුත් එය ගෙවා නැති බවයි.

මේ සම්බන්ධයෙන් ඔහු මෙසේ ද පැවසුවා.

“එසේ නොගෙවීමට හේතුවක් තියෙනවා. අයකරනු ලබන වරිපනම් බදු මුදල් තක්සෙරු කිරීම සම්බන්ධයෙන් නිසි පැහැදිලිතාවයක් නැති නිසා වරාය කළමනාකාරිත්වය එම පැහැදිලි කිරීම කරන ලෙසට හම්බන්තොට මහ නගර සභාවට දැනුම් දි තිබෙනවා. එහෙත් මහ නගර සභාව නෙවෙයි තක්සේරු දෙපාර්තමේන්තුව කරන ලද තක්සේරුවක් නිසා මහ නගර සභාවටත් ඒ සඳහා පැහැදිලි කිරීමක් කරන්න බැහැ.

2017 සිට එක් කාර්තුවකට රුපියල් ලක්ෂ 60 ක බදු මුදලක් තක්සේරු කර තිබෙනවා. සාකච්ඡා වට කිහිපයක් කළා. මහ නගර සභාව සමඟ ගෙවීම් කිරීම ආරම්භයක් ලෙස රුපියල් මිලියනයක මුදලක් මහ නගර සභාවට ගෙව්වා. වරාය තෙල් පර්යන්තයෙන් ලක්ෂයකට අඩු මුදලක් වසරකට ගෙවනවා. කොළඹ වරායේවත් මෙවන් තක්සේරුවක් නැහැ. මේ වන විටත් වරාය පාඩු ලබමින් තිබෙනවා.

එම නිසා වරාය පරිශ්‍රයේ තක්සේරු කිරිම ගැන දකුණු පළාත් ආණ්ඩුකාරතුමා සමඟ ඉදිරියේ දි සාකච්ඡාවක් ඉල්ලා තිබෙනවා. ඒ වගේම 2017ට පෙරත් වරාය ක්‍රියාත්මක වුණා. ඒ කාලසීමාවෙත් වරිපනම් බදු ගෙවීමක් හෝ තක්සේරු කිරිමක් කරලා නැහැ. තක්සේරු කරල තියෙන්නේ 2017 න් පසුවයි.”