ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනය යටතේ පවතින ආයතන වෙතින්ම පමණක් මහජනතාව සිය මුල්‍යමය අවශ්‍යතාවන් සපුරා ගැනීමට කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අන්තර්ජාලය හරහා හෝ ජංගම දුරකථන ඔස්සේ ණය ලබා ගැනීම සම්බන්ධව මහජනතාව දැනුවත් කිරීමින් පොලිස් මුලස්ථානය නිකුත් කළ නිවේදනයක එසේ සඳහන් කර තිබෙනවා.
එම නිවේදනයේ මෙසේ ද සඳහන් වෙනවා.
අන්තර්ජාලය හරහා මෙන්ම ජංගම දුරකථන ඔස්සේ ආකර්ශනීය ලෙස දැන්වීම් පළ කරමින් හා ඇතැම් අවස්ථා වලදී දුරකථන ඇමතුම් පවා ලබා දෙමින් කිසිදු ඇපයකින් තොරව ක්ෂණික ණය මුදල් ලබා ගත හැකි බව පෙන්වා දෙමින් ණය ලබා දීම සඳහා ඉදිරිපත් වු ආයතන විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකා පොලිසිය විසින් නිරීක්ෂණය කර ඇත.
එවැනි ආයතන වෙතින් ජංගම දුරකථන හරහා ණය ලබා ගැනීමේදී ගෙවිය යුතු පොලී අනුපාතය හා ණය කාල සීමාව සම්බන්ධයෙන් නිසි අවධානය යොමු නොකර ණය ලබා ගැනීමට පුද්ගලයින් කටයුතු කිරීම හේතුවෙන් ඔවුන් විවිධ ගැටළුකාරි තත්ත්වයන්ට මුහුණ දී ඇති බව ශ්‍රී ලංකා පොලිසියට වාර්තා වන පැමිණිලි අනුව නිරීක්ෂණය වී ඇත.
මෙම ණය මුදල ආපසු ගෙවීමේදී බොහෝ අවස්ථාවල අනපේක්ෂිත ලෙස අධික පොලියක් ගෙවීමට සිදු වන බවත්, එම ආයතන විසින් ණය මුදල් නැවත අය කර ගැනීමට ණය හිමියන් පීඩාවට පත්වන ආකාරයට ඇමතුම් ලබා ගැනීම මෙන්ම අපහාසාත්මක ලෙස සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රචාරයන් සිදු කරන බවට ද ශ්‍රී ලංකා පොලිසිය වෙත දෛනිකව පැමිණිලි ලැබෙමින් පවතී.
ඒ අනුව, මෙවැනි ආකාරයට අන්තර්ජාලය සහ ජංගම දුරකථන හරහා ණය ලබා දෙන ආයතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මුල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කරන ලද විමසීමේ දී එවැනි බොහෝ ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනය නොකර ඇති බවටත්, ණය දෙන ආයතන සම්බන්ධයෙන් නියාමනය කිරීම සඳහා ගත යුතු ඉදිරි පියවර ගනිමින් සිටින බවත් වැඩිදුරටත් දැනුම්දී ඇත.
එබැවින් සෑම විටම ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනය යටතේ පවතින ආයතන වෙතින් මහජනතාව සිය මුල්‍යමය අවශ්‍යතාවන් සපුරා ගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය ඉල්ලා සිටියි.