සෙව්වන්දි රැගත් ‍ගුවන් යානය කටුනායකට

නේපාලයේදී අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස රැගෙන ආ ගුවන් යානය අද (15) රාත්‍රී 6.55ට පමණ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලට පැමිණියා.

අප ගුවන්තොටුල වාර්තාකරු සඳහන් කළේ මඳ වැසි සහිත කාලයක් පවතින මොහොතේම මෙම ගුවන් යානය මෙරටට ළඟා වූ බවයි.

යූ. එල්. 182 ශ්‍රී ලන්කන් ගුවන් යානය නේපාලයේ කත්මණ්ඩු නුවර සිට මෙරටට පැමිණියා.

ශ්‍රී ලංකා පොලිසිය සිදුකළ මෙම විශේෂ මෙහෙයුමෙන් ඉෂාරා සෙව්න්දි ඇතුළු සැකකරුවන් හය දෙ‍නකු මෙරටට රැගෙන විත් තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළුව නේපාලයේදී අත්අඩංගුවට ගෙන ගත්තේ, මෙරට පාතාල කණ්ඩායම් හා සම්බන්ධ පුද්ගලයන් හයදෙනෙකි.

වීරසිංහ පිනිපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි, ජීවදාසන් කනකරාසා, තක්ෂි නන්දකුමාර, දිනේෂ් ශ්‍යාමන්ත ද සිල්වා කළුදාර, කෙනඩි බස්තියම්පිල්ලෙයි හෙවත් J.K. බායි සහ වික්‍රම ආරච්චිගේ දිනේෂ් නිශාන්ත කුමාර මෙලෙස අත්අඩගුවට ගෙන තිබුණා.
ගනේමුල්ල සංජීව ඝාතනය කර තිබුණේ කොළඹ අලුත්කඩේ අංක 6 උසාවිය තුළදී ඉකුත් පසුගිය පෙබරවාරි 20 වැනිදායි.

ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන, සෙව්වන්දි ඝාතනයෙන් පසු මුහුදින් ඉන්දියාවට පලාගොස් ඇති අතර, ඇය ඒ සඳහා රුපියල් මිලියන 6.5 ක් පමණ වියදම් කර තිබෙන බවට වාර්තා වුණා.

සෙව්වන්දි මාසයක කාලයක් සඳහා නේපාලයේ භක්තපූර්හි කාමරයක් කුලියට ගෙන සිට ඇත්තේ තමා ඉන්දියාවේ බෙංගලූරු නගරයේ පුරවැසියකු බවට එම නිවෙස් හිමියාට ව්‍යාජ තොරතුරු සපයා බවද වාර්තා වුණා.