යෝෂිත සහ ඩේසි ෆොරස්ට් යන අයට එරෙහි නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් 12 කැඳවයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව, පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් 12 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

මෙම නඩුව අද (15) කොළඹ මහාධිකරණ විනිසුරු  උදේශ් රණතුංග ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, පැමිණිල්ල විසින් නඩුවට සම්බන්ධ ලේඛන කිහිපයක් විත්තියේ නීතීඥවරුන් වෙත විවෘත අධිකරණයේදී ලබා දුන් බවයි සඳහන් වන්නේ.

ඒ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ තවත් ලේඛන සමහරක් කඩුවෙල උසාවියේ විත්තිකරුට එරෙහිව ගොනු කර ඇති නඩුවක ඇති බවත්, ඒවා පරීක්ෂා කිරීමට අවශ්‍ය බවත් සඳහන් කර තිබෙනවා.

එම ලේඛන පරීක්ෂා කිරීම සඳහා නඩුව කැඳවීමට දිනයක් ලබා දෙන ලෙසත්, මෙම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා දිනයක් ලබා දෙන ලෙසත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර පවසා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා විසින් නඩුවට අදාල ලේඛන පරීක්ෂාව සඳහා මෙම නඩුව නොවැම්බර් 06 වැනිදා කැඳවන ලෙස නියෝග කළ අතර, නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මෙම නඩුව නොවැම්බර් 11 වැනිදා කැඳවන ලෙසත් නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

රුපියල් මිලියන 73 කට ආසන්න වත්කම් හා දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින්, යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.