අස්වැසුම පවුල් 23,775 ක් සඳහා ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කර ගැනීමට රුපියල් 150,000 ක මුල්‍ය ප්‍රදානයක්

අස්වැසුම ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ හා ලෝක බැංකුවේ මුල්‍ය හා තාක්ෂණික සහාය මත නියමු ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා ග්‍රාම නිලධාරි වසම්වල ක්‍රියාත්මක වනවා.

එම නියමු ව්‍යාපෘතිවල ක්‍රමවේදය අනුව හඳුනාගත් දුප්පත් හා අන්ත දුප්පත් පවුල් ඒකකයක් වෙත ඔවුන්ගේ ව්‍යාපාර හෝ රැකියා සැලැස්ම මත පදනම්ව හා ඔවුන් සමඟ ගිවිසුම්ගත වීමෙන් අනතුරුව රුපියල් 150,000ක උපරිමයකට යටත්ව මුල්‍ය ප්‍රදානයක් ලබා දීමට සැලසුම් කර ඇති බවයි කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඒ අනුව, එකී නියමු වැඩසටහන යටතේ සියලුම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 143ක ග්‍රාම නිලධාරි වසම් 839ක පදිංචි පවුල් අතරින් තෝරාගනු ලැබ ඇති ප්‍රතිලාභී පවුල් 23,775ක් වෙත 2025 සිට 2027 දක්වා වන කාලරාමුව තුළ ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කර ගැනීම සඳහා යෝජිත මූල්‍ය ප්‍රදානය ලබා දීම පිණිස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

 news images news images