ශ්‍රී ලංකා අගමැති හරිනි චීන අගමැති හමුවෙයි

චීන අග්‍රාමාත්‍ය ලී චියැං මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (13) චීනයේ බෙයිජිං නගරයේ දී හමුවිය.

කාන්තාවන් පිළිබඳ ගෝලීය නායක සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය මේ දිනවල චීනයට ගොස් සිටියි.

චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු සාම්ප්‍රදායික මිත්‍රත්වය අගය කළ ලී චියැං මහතා, මෙහිදී පවසා ඇත්තේ ශ්‍රී ලංකාව සමඟ, “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙල ගුණත්මකව පොදුවේ ගොඩනැගීමේ රාමුව යටතේ, ආර්ථික සහ වෙළඳාම යනාදී ක්ෂේත්‍රවල සහයෝගීතාව ප්‍රවර්ධනය කරමින් පොදු ඉරණමක් සහිත චීන-ශ්‍රී ලංකා ප්‍රජාවක් ගොඩනැගීමට දායකවීමට ද, චීනය කැමැත්තෙන් සිටින බවයි.

මේ වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ නිල සංචාරයක නිරත විය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඔහු සමඟ වැදගත් හමුවක් පැවැත්වූ අතර, ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය සඳහා නව උපායමාර්ගික මග පෙන්වීමක් ලබා දුන්නේ ය.

දෙපාර්ශ්වය එක්ව “ගෝලීය පාලන මුලපිරීම” ක්‍රියාත්මක කිරීමෙන්, බහුපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කළ යුතු අතර ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කළ යුතු බවද ලී මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එකම චීනය යන මූලධර්මයට ශ්‍රී ලංකාව අනුගත වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එහිදී අවධාරණය කළා ය. ෂී ජින් පිං මහතා විසින් යෝජනා කරන ලද “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙල සහ “ගෝලීය පාලන මුලපිරුම” සඳහා ශ්‍රී ලංකාව සහාය දක්වයි. චීනය සමඟ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සහයෝගීතාව ගැඹුරු කිරීමට මෙන්ම, ශ්‍රී ලංකා-චීන සබඳතා වඩාත් ඉහළ මට්ටමකට ගෙන ඒමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් සිටින බව ද ඇය එහිදී සඳහන් කළා ය.

මේ අතර, ශ්‍රී ලංකා අගමැතිනිය හා චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යංශයේ ස්ථාවර කමිටු සාමාජික, චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටු සභාපති වං හූනිං මහතා අතරද හමුවක් ඊයේ දිනයේදී පැවැත්වුණි.

එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙල ඉහළ ගුණත්මකභාවයෙන් ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාවන් පුළුල් කරමින් අවංක හා අන්‍යෝන්‍ය සහයෝගයන්ගෙන් සපිරි පාරම්පරිකව පවතින මිත්‍රත්වයක් හිමි චීන-ශ්‍රී ලංකා උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය, අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට චීනය බලාපොරොත්තු වන බව වං මහතා මෙහිදී පවසා ඇත.

කාන්තාවන් පිළිබඳ ගෝලීය නායක සමුළුව සාර්ථකව පැවැත්වීම පිළිබඳව සුබ පැතුම් පිරිනැමූ අමරසූරිය මෙනෙවිය, මෙහිදී ප්‍රකාශ කළේ, ලෝක කාන්තාවන් ගේ සංවර්ධනය අරමුණු කර ගෙන ඉදිරියට යන ගමනේදී චීනය ලබාදෙන නායකත්වය පිළිබඳව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ දේශනයෙන් පිළිබිඹු වූ බවයි.

චීනය සමග සබඳතාව අගය කරන ශ්‍රී ලංකාව, චීනය සමඟ එක්ව ආර්ථිකය, අධ්‍යාපනය සහ සංචාරය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාව ගැඹුරු කිරීමටත්, දෙරට අතර සබඳතාව අලුත් මට්ටමකට නංවාලීමටත් අපේක්ෂා කරන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.