ශෂීන්ද්‍ර රාජපක්ෂට ඇප

අල්ලස් කොමිසම මගින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටි, හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

සැකකරු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම විසින් මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 මැයි 09 වැනිදා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු, එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී, ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදු කර, රුපියල් 8,850,000/- ක් වන්දි ලබා ගැනීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකිරීම සහ, මහවැලි අධිකාරිය සතු දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.