වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) ශ්‍රී ලංකාවේ වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය (TPR) සහ එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය පිළිබඳ 16 වන සැසිවාරය (UNCTAD) සඳහා සහභාගිවීමට නියමිතය.
එම 16 වන සැසිවාරය (UNCTAD) හෙට (15) සිට 20වැනිදා දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන අතර ඒ සඳහා අමාත්‍ය වසන්ත සමරසිංහ සමඟ ශ්‍රී ලංකා දූත පිරිසක් සහභාගී වේ.
ශ්‍රී ලංකාවේ වෙළෙඳ හා ප්‍රතිපත්ති ප්‍රගතිය පිළිබඳව WTO සාමාජිකයින් සමඟ සාකච්ඡා කරනු ලබන මෙම සමාලෝචන සැසිවල මුලසුන වෙළෙඳ අමාත්‍යවරයා විසින් දරනු ඇත.
නව රජය බලයට පත් වීමෙන් පසු පැවැත්වෙන පළමු වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය මෙය වන අතර WTO යටතේ ඇති සාමාජික රටවල වෙළෙඳ ප්‍රතිපත්ති රාමු පිළිබඳව සාකච්ඡා කිරීම හා ඒවායේ විනිවිඳභාවය තහවුරු කිරීම මෙහිදී සිදු වේ.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය මෙම සමාලෝචනයේ වැදගත්කම අවධාරණය කළ අතර, ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රකෘතිමත් වීම සහ අපනයන පාදක වර්ධනය කෙරෙහි නැවත අවධානය යොමු කරන තීරණාත්මක මොහොතක මෙය පැමිණෙන බව සඳහන් කළේය. රටේ ආර්ථික ප්‍රගතිය, ධනාත්මක ප්‍රතිපත්ති මාරුවීම් සහ අනාගත උපායමාර්ගික දිශාව පෙන්නුම් කිරීම සඳහා සමාලෝචනය තීරණාත්මක වේදිකාවක් සපයයි.