පළාත් සභා ඡන්දය පැවැත්වෙන කාල වකවානුව ගැන ආණ්ඩුවෙන් ඉදිරි සති දෙක ඇතුළත පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වන බව පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කරනවා.
එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් සියලුම පක්ෂවල එකඟතාවයකින් ආණ්ඩුවට යැවූ පිළිතුරට සති තුනක් ගත වී ඇතත් තවම පිළිතුරක් ලැබී නොමැති බවයි.
පළාත් සභා ඡන්දය විශාල වශයෙන් කල් දැමීම සිදු නොකළ යුතු බවත් ඒ නිසා පැරණි ක්‍රමයට හෝ ඡන්දය පැවැත්වීමට ආණ්ඩුවට හැකියාව ඇති බවත් ඒ සඳහා ආණ්ඩුවට සිදු කළ යුත්තේ සුළු සංශෝධනයක් පමණක් බවත් ඒ අනුව පළාත් සභා ඡන්දය පැවැත්වීමට ආණ්ඩුවට හැකියාව තිබෙන බවද රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දෙනවා.
මීට අමතරව නව ඡන්ද ක්‍රමයට පළාත් සභා ඡන්දය පවත්වනවා නම් සීමා නිර්ණ කටයුතු මාස හතරක් ඇතුළත නිමාවන ආකාරයට සංශෝධනයක් ඉදිරිපත්විය යුතු බවත් එම මාස හතරෙන් අනතුරුවත් ඵය ක්‍රියාත්මක නොවනවානම් මාස හතරෙන් අනතුරුව පැරණි ඡන්ද ක්‍රමයට පළාත් සභා ඡන්දය පැවැත්වීමට බලතල ලැබෙන වගන්තියක්ද සහිතව අදාළ සංශෝධනය සිදුවිය යුතු බවද රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කරනවා.
පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන් සියලුම දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කළ බවත් ඒ පක්ෂවල එකඟතාවයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාට ලිපියක් යොමු කළ බවත් සති තුනක් ගති වී ඇතත් තවම එයට පිළිතුරක් ලැබී නොමැති බවද රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දෙනවා.
මේ නිසා පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ ආණ්ඩුවෙන් පැහැදිලි පිළිතුරක් නොලැබුණහොත් ඉන් අනතුරුව මැතිවරණ කොමිසම සහ අනෙකුත් දේශපාලන පක්ෂ සමග ඉදිරි ක්‍රියාමාර්ගමේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන බවද රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් ප්‍රකාශ කළා.