අටලුගම විශේෂ රථවාහන මෙහෙයුමක්

බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශය ආවරණය වන පරිදි සිදු කළ විශේෂ රථ වාහන මෙහෙයුමේදී රථ වාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 36 කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බව බණ්ඩාරගම පොලිසිය පවසනවා.

සැකපිට පුද්ගලයන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගත් බවත් කිසිදු ලිපි ලේඛනයක් නොමැති යතුරු පැදි 13 ක්පොලිස් භාරයට ගත් බවත් පොලිසිය සඳහන් කරනවා.

අටලුගම ප්‍රදේශයේ ඇතැම් පුද්ගලයන් ආරක්ෂක හිස් වැසුම් නොමැතිව සහ කිසිදු බලපත්‍රයක් නොමැතිව නීති විරෝධී අයුරින් යතුරුපැදි ධාවනයේ යෙදෙන බවට පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වාට දිගින් දිගටම ලද පැමිණිලි කීපයක් අනුව එම විශේෂ රථවාහන සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කළ බව ‍පොලිසිය පවසනවා.

පුරා පැය හතරකට ආසන්න කාලයක් බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් පානදුර කොට්ඨාස රථවාහන අංශයේ සහ කොට්ඨාස යතුරුපැදි ඒකකයේ නිලධාරීන් සමඟ ඒකාබද්ධව මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ට සහ රථවාහන වැරදි සිදු කළ පුද්ගලයන්ට එරෙහිව පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතයි.

පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් දසිල්වාගේ උපදෙස් මත බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්න අමනසේකරගේ මෙහෙයවීමෙන් මෙහෙයුම සිදු කෙරිණා.