සතුන්ට වතුර දෙන භාජන ඩෙංගු රජ දහන් : අවුරුද්දේ මේ දක්වා මරණ 21ක්

සතුන්ට වතුර ලබාදෙන භාජනවල පවතින වතුර ඉවතලා දිනපතා අලුත් වතුර එම භාජනවලට එක්කළද ඩෙංගු බිත්තර විනාශ නොවන බව ඩෙංගු මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමවීර සඳහන් කරනවා.

මෙම භාජනවල වතුර දිනපතා අලුත් කළද භාජනයේ පෘෂ්ඨ මත ඩෙංගු බිත්තර ඇලී පැවතීම හේතුවෙන් ඩෙංගු මදුරුවන් පහසුවෙන් බෝවන බව ඇය පෙන්වා දෙනවා.

සාමාන්‍යයෙන් කුමන පරිසර තත්වයක් මත වුවද ඩෙංගු බිත්තර අවුරුද්දක් පමණ කාලයක් නොනැසී පවතින බැවින් මෙම පිරිසිදු වතුර පුරවා ඇති භාජනයන් ඩෙංගු මදුරුවාට බෝවිය හැකි වඩාත්ම සුදුසුම සහ යෝග්‍යම පරිසරය බවට අද පත්ව ඇතැයි ද වෛද්‍ය සමරවීර මහත්මිය පවසනවා.

පසුගිය දිනවල සිදුකළ කීට විද්‍යා පරික්ෂා කිරීම්වලදී මදුරුවන් වැඩිවශයෙන් බෝවන ස්ථානයන් ලෙස සතුන්ට පානය සඳහා වතුර ලබා දෙන භාජන සහ අක්‍රමවත් ලෙස පරිසරයට බැහැ කර ඇති භාජන හඳුනාගත් බවත් ඒවා මදුරුවන්ගේ රජදහන් වී ඇති බවත් ඇය සඳහන් කරනවා.

මේ වර්ෂය තුළ මේ වන විට ඩෙංගු රෝගින් 39826ක් වාර්තා වී ඇති අතර, මරණ 21ක් ද ඒ අතර වන බව ඩෙංගු මර්දන වැඩසටහන පවසා සිටිනවා.

දින දෙකකට වඩා උණ පවතින්නේ නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත ගොස් අවශ්‍ය ප්‍රතිකාරයන් ලබා ගැනීම ප්‍රමාද නොකරන්න යැයි ද ඇය සඳහන් කරනවා.

මේ දිනවල පවතින වර්ෂාවත් සමඟ නැවත ඩෙංගු හා මී උණ රෝගය ශීඝ්‍රයෙන් පැතිර යාමට පටන් ගෙන ඇති බැවින් තම පරිසරය සහ තම සෞඛ්‍ය පිළිබඳව වඩාත් කල්පනාකාරී වන්නැයිද ඇය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.