2025 සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ ජාතික තේ විකුණුම් සාමාන්‍යය (NSA) සුළු වශයෙන් ඉහළ ගොස් ඇතත්, වසරේ සමුච්චිත මිල ගණන් තවමත් 2024ට වඩා පහළ මට්ටමක පවතින බව ෆෝබ්ස් ඇන්ඩ් වෝකර් රිසර්ච් (Forbes & Walker Research) විසින් සම්පාදනය කරන ලද දත්තවල සඳහන් වෙනවා.
සැප්තැම්බර් මාසයේ ජාතික තේ විකුණුම් සාමාන්‍යය කිලෝග්‍රෑමයකට රුපියල් 1,191.62 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය අගෝස්තු මාසයේ පැවති රුපියල් 1,182.27ට වඩා රුපියල් 9.35 ක වැඩිවීමක්.
කෙසේ වෙතත්, 2024 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ රුපියල් 1,207.99 හා සසඳන විට මෙම සාමාන්‍යය රුපියල් 16.37කින් අඩුවී තිබීම විශේෂත්වයක්.
2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය සඳහා සමස්ත ජාතික තේ විකුණුම් සාමාන්‍යය රුපියල් 1,160.56ක් වූ අතර, එය 2024 වසරේ අදාළ කාලය සඳහා වූ රුපියල් 1,245.66 සාමාන්‍යයට වඩා රුපියල් 85.10ක සැලකිය යුතු පහත වැටීමක් පෙන්නුම් කරනවා.
අගෝස්තු මාසයට සාපේක්ෂව කිලෝග්‍රෑමයකට රුපියල් 49.56කින් ඉහළ ගිය නමුත්, එය තවමත් ගිය වසරේ සැප්තැම්බර් මාසයට වඩා රුපියල් 34.72කින් අඩුයි.
මධ්‍යම වගා (Medium Grown) තේ සඳහා මාසයෙන් මාසයට රුපියල් 1.56කින් සුළු වශයෙන් පහත වැටුණු අතර, වසරකට පෙරට වඩා රුපියල් 13.83කින් අඩුවී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයෙන් වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන පහළ වගා තේ (Low Grown), දේශීය වශයෙන් රුපියල් 0.75කින් සුළු වර්ධනයක් පෙන්නුම් කළද, මාසයෙන් මාසයට එක්සත් ජනපද ඩොලර් සත 0.01කින් පහත වැටී ඇති අතර 2024 සැප්තැම්බර් මාසයට වඩා රුපියල් 30.79කින් අඩු බවටයි වාර්තා වෙන්නේ.
ගෝලීය තේ මිල මත අඛණ්ඩ පීඩනය සහ අපනයන ඉල්ලුම අඩුවීම පිළිබිඹු කරමින්, සියලුම වගා සඳහා වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් සහ ඩොලර් යන දෙඅංශයෙන්ම 2024 අදාළ කාලයට සාපේක්ෂව ඍණාත්මක විචල්‍යතා (negative variances) වාර්තා කර ඇති බවටයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.