වසර 28ක කාලයක් පුරා පෞද්ගලික අංශයෙන් මුද්‍රණය කළ රියැදුරු බලපත් කාඩ්පත රජයෙන් මුද්‍රණය කිරීම මේ මස 18 වැනිදා සිට ආරම්භ කරන බවත් එමඟින් එක් කාඩ්පතකින් රුපියල් 166ක මුදලක් රජයට ඉතිරි වන බවත් සභානායක, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) ප්‍රකාශ කළේය.
වසර විසි පහක් පුරා වාහන අංක තහඩු මුද්‍රණය කර ඇත්තේ එකම ආයතනයකින් වන අතර දිගු කාලීනව එකම සමාගමක් අංක තහඩු මුද්‍රණය කිරීමෙන් ගැටලු රැසක් නිර්මාණය වී ඇති බවද හෙතෙම පැවසීය.
අංක තහඩු මුද්‍රණය සඳහා මේ වසරේදී අලුතින් කළ ටෙන්ඩර් කැඳවීමට අනුව සමාගම් තුනක් ඉදිරිපත්ව සිටින අතර වාහන අංක තහඩු ලබාදීමේ ක්‍රමවේදයේ ප්‍රමාදයක් තවදුරටත් පවතින බව ද ඇමැතිවරයා පැවසීය.
ඇමැති බිමල් රත්නායක මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදි වැඩිදුරටත් ඇමැති බිමල් රත්නායක මහතා සඳහන් කළේ මේ වසරේ සැප්තැම්බර් 30 වැනි දින වන විටත් වාහන අංක තහඩු 165,512 ලබාදී නැති බවයි.
එහිදී වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.
වාහන අංක තහඩු ලබාදීම අපි සැලසුම් කළාට වැඩිය ප්‍රමාදයක් තියෙනවා. නව වාහන අංක තහඩුවල විශේෂ ආරක්ෂිත ලක්ෂණ 7ක් අඩංගු වෙනවා. මේ ලක්ෂණ 7 ලංකාවේ පරීක්ෂා කිරීම ගැන අපි භාරදුන්නා මොරටුව සරසවියට. ඔවුන් මාස තුනක වගේ කාලයක් ගත්තා. ඒ වගේම ඔවුන්ට පරීක්ෂා කරන්න පුළුවන් කියා ප්‍රකාශ කළේ එයින් 6ක් පමණයි. ඒ නිසා අපි 7 වෙනි එක පිළිබඳ පරීක්ෂා කිරීම ජාත්‍යන්තර වශයෙන් කරන්න වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ ප්‍රමාදය වී තිබෙන්නේ. මේ වසරේ සැප්තැම්බර් 30 වැනි දින වන විටත් වාහන අංක තහඩු 165,512 ලබාදී නැහැ. රියැදුරු බලපත් මුද්‍රණයත් වසර 28ක කාලයක් තිස්සේ එකම කණ්ඩායමක් පමණයි කර තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව කිසිම දැනුම්වත් බවක් නෑ. ගෝඨාභය රාජපක්ෂ හමුදාව දාලත් කරන්න බැරි වුණා. නමුත් අපි අලුත් මැෂින් සවිකර රියැදුරු බලපත් මුද්‍රණය පටන් ගන්නවා. දැනට අප සතුව කාඩ් ලක්ෂ අටක් තියෙනවා. ඒ ප්‍රමාණය අවසන් වෙන්න කලින් තව ලක්ෂ දහයක් ගෙන්වනවා. මින් පෙර එක් කාඩ්පතක් මුද්‍රණය කළේ රුපියල් 534.54කට. අපට මුද්‍රණය කරන්න යන්නේ රුපියල් 368.16ක් පමණයි. එමඟින් එක් කාඩ්පතකින් රුපියල් 166ක් රජයට ඉතිරි වෙනවා යැයිද පැවසීය.
ස්වර්ණා විජේකෝන්,
මහින්ද අලුත්ගෙදර,
සන්ධ්‍යා කරුණාරත්න