දුෂ්කර පාසල් තුන්දහසක්

දිවයින පුරා ඇති පාසල් 10,102 අතුරින් පාසල් 3000කට ආසන්න සංඛ්‍යාවක් දුෂ්කර සහ අතිදුෂ්කර පාසල් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයකින් අනාවරණ වී තිබෙනවා.

එය ප්‍රතිශතයක් ලෙස සමස්ත පාසල්වලින් සියයට 28.26ක්.

මෙවැනි පසුබිමක ශිෂ්‍ය සංඛ්‍යාව 50ට අඩු සහ එක් ශිෂ්‍යයෙකු සඳහා වන පිරිවැය ඉතා ඉහළ පාසල් තාවකාලිකව වසා දැමීමට රජය සූදානම් වන බවට ලංකා ගුරු සංගමය චෝදනා කරනවා.

පාසල් ව්‍යුහ කටයුතු පිළිබඳ චක්‍රලේඛය හා උපදෙස් සංග්‍රය නමින් අධ්‍යාපන අමාත්‍යාංශය නව චක්‍රලේකයක් නිකුත් කර තිබුණේ පසුගිය අප්‍රේල් මාසයේදී. එහි යම් කිසි පාසලක් පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් අවම ශිෂ්‍ය සංඛ්‍යාව 50ක් ලෙස දක්වා තිබුණා.

ඒ අනුව පාසලේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 50ට අඩු නම්, එවැනි අවස්ථාවලදී උපරිම දුර කිලෝමීටර 5කට ආසන්නයේ ඇති වෙනත් පාසැලක් සමග අදාළ පාසල ඒකාබද්ධ කර ක්‍රියාත්මක කිරීමට හැකි බව එම චක්‍රලේඛයේ දක්වා තිබෙනවා.

එමෙන්ම හදුනාගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව ඉතාමත් අවම සහ ඒක ශිෂ්‍ය පිරිවැය ඉතාමත් ඉහළ පාසැල් තාවකාලිකව වසා දැමීම සඳහා පළාත් ව්‍යුහ කමිටුවට හෝ අධ්‍යාපන අමාත්‍යාංශ ව්‍යුහ කමිටුවට සලකා බැලිය හැකි බවද එහි සඳහන්.

ලංකා ගුරු සංගමය ලේකම් ජෝෂප් ස්ටාලින් ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

එවැනි පසුබිමක අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පළාත් මට්ටමින් පාසැල් වර්ගීකරණය කරමින් චක්‍රලේකයක් නිකුත් කර ඇති අතර එම වර්ගීකරණය සිදුකර ඇත්තේ වඩාත් පහසු පාසල්, දුෂ්කර පාසැල් සහ අති දුෂ්කර පාසැල් ලෙසයි.

ඒ අනුව දිවයින පුරා ඇති පාසැල් 10,102 අතුරින් දුෂ්කර සහ අති දුෂ්කර පාසැල් සංඛ්‍යාව 2855ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස සමස්ත පාසල්වලින් සියයට 28.26ක්.

මේ අතර පාසල් සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී කලාපයට පොදු සැළසුම් සකස් කරන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ඒ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව මාතලේ දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනය එක්වෙමින්.