OT දුර දිග යයි… තැපෑල කෝපා කමිටුවට

තැපැල් දෙපාර්තමේන්තුවේ අතිකාල දීමනා(OT) සම්බන්ධයෙන් මතුවී ඇති සියලුම කරුණු ගැන අවධානය යොමු කොට තැපැල් දෙපාර්තමේන්තුව ඉදිරි කාලයේදී පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාව (කෝපා) වෙත කැඳවීමට නියමිත බව වාර්තා වෙනවා.

මේ සම්බන්ධයෙන් කෝපා කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්තී කබීර් හෂීම්ගේ ආවධානය යොමු වී ඇති අතර මේ පිළිබඳව විගණකාධිපතිවරයාගෙන් වාර්තාවක් ඉදිරියේදී කැඳවීමට කෝපා කමිටුවේ අවධානය යොමු වී ඇති බවයි දැන ගන්නට ලැබෙන්නේ.

පසුගිය දිනවලදී තැපැල්පතිවරයා ප්‍රකාශ කළේ අතිකාල දීමනා (OT) විශාල වශයෙන් ලබාගෙන ඇති බවත් එය ඇඟිලි සලකුණු නොතබා ලබාගෙන තිබෙන බවත් මේ ආකාරයට රුපියල් මිලියන දහයකට වඩා මුදලක් ලබාගෙන ඇති බවයි.

ඊට පිළිතුරු ලබාදෙමින් තැපැල් වෘත්තිය සමිති ප්‍රකාශ කළේ මෙම අතිකාල දීමනා ලබා ගත්තේ සේවක හිඟය පවතින නිසා එහි වැඩි ආවරණය කරමින් බවත් මේ සඳහා තැපැල් පාලනාධිකාරියේ ද අනුමැතිය ලැබී ඇති බවයි.

මීට අමතරව තැපැල් දෙපාර්තමේන්තුවේ ඇතැම් වාහන නඩත්තු කිරීම සම්බන්ධයෙන්ද අක්‍රමිකතා සිදුවී ඇති බව තැපැල්පතිවරයා ප්‍රකාශ කර තිබුණා.

මෙම සියලුම කරුණු විගණකාධිපතිවරයාගේ මාර්ගයෙන් කෝපා කමිටුව වෙත ලබාගෙන ඉන් අනතුරුව ඉදිරියේදී තැපැල් දෙපාර්තමේන්තුව කෝපා කමිටුවට ගෙන්වා මේ ගැන කරුණු සොයා බැලීමට කෝපා කමිටුවේ අවධානය යොමු වී ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.