අනුරපුරේ මී උණ කරදරේ

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 10 දෙනකු මී උණ රෝගය වැළඳීමෙන් මේ වසරේ මියගොස් ඇතැයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එන්.සී.ඩී.ආරියරත්න මහතා පවසනවා.

පසුගිය වසරේදී මී උණ රෝගීන් 743ක් වාර්තා වූ බවත් ඉන් 16 දෙනෙක් මියගිය බවත් රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරනවා.

වර්ෂා කාලයත් සමඟ උණ රෝගී තත්වයෙන් රෝහල්ගතවන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් ඔවුන්ට ලබා දිය හැකි රෝගී සත්කාර සේවාවන් ලබාදීම පිළිබඳ බරපතල ගැටලුවක් ඇතිවී තිබෙන බව ද අධ්‍යක්ෂවරයා පවසනවා.

පරීක්ෂණ කටයුතු සංකීර්ණවීම, රෝගීන්ට වැඩි ඖෂධ ප්‍රමාණයක් සැපයීමට සිදුවීම , මානව සම්පත් හිඟවීම, කාර්ය මණ්ඩල වැඩියෙන් යෙදවීමට සිදුවීම , ඇඳන් ප්‍රමාණයන් වැඩියෙන් වෙන් කිරීමට සිදුවීම , හදිසි ප්‍රතිකාර ඒකක වැඩියෙන් යෙදවීමට සිදුවීම ආදී ගැටළු රාශියකට මුහුණදීමට රෝහල් කාර්ය මණ්ඩලයට සිදුවන බව හෙතෙම පෙන්වාදේ.

“ ලෙප්ටොස්පයිරා ” බැක්ටීරියාව ශරීර ගතවී පළමු අවස්ථාවේදී සෘජුවම රුධිරයට එක්වීමත්, දෙවැනි අවස්ථාවේදී ශරීරය අභ්‍යන්තර අවයවවලට එක්වීමෙන් වකුගඩු , පෙනහළු හා අක්මාව වැනි කොටස් අකර්මන්‍ය වී මරණයට ලක්වීමේ අවදානමක් පවතින බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කරනවා.

මී උණ රෝගීන් විශාල සංඛ්‍යාවක් රෝහල් ගතවීම හේතුවෙන් හෘද රෝගීන් වෙනුවෙන් ලබාදිය යුතු පහසුකම්වලට සමාන පහසුකම් මී උණ රෝගීන්ට ලබාදිය යුතුවීම නිසා ගැටළු පැන නැගී ඇතැයිද අධ්‍යක්ෂවරයා පෙන්වාදේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂවරයා මෙසේ ද පැවසුවා.

“ වඩාත් සාර්ථක විකල්පය වන්නේ මෙම වසංගත තත්වය වර්ධනය නොවන ආකාරයට කටයුතු කිරීමයි. එම නිසා කළ යුතු වන්නේ රෝග ලක්ෂණ පහළ වූ වහාම පිළිගත් වෛද්‍යවරයකු හෝ රෝහලකට ගොස් ප්‍රතිකාර ලබාගැනීමයි. එමෙන්ම එය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍යයි. විශේෂයෙන් අදාල ක්ෂේත්‍රවල රැකියාවල නියුක්තවූවන් දැනුවත් කිරීම සඳහා භූ විද්‍යා හා පතල් කාර්යාංශය , කෘෂිකර්ම , වාරිමාර්ග , ගොවිජන සේවා , පශු සම්පත් ආදී දෙපාර්තමේන්තුවල නිළධාරීන්ගේ සහාය ලබාගෙන කඩිනම් ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේ නම් මෙම මාරාන්තික මී උණ රෝගයෙන් මහජනතාව බේරාගත හැකියි.”