ස්ථිර තැපැල් සහයකයින් 731කට අනිද්දා පත්වීම් ලිපි

තැපැල් දෙපාර්තුමේන්තුවේ ප්‍රථමික ශිල්පීය නොවන සේවා තෙවැනි ශ්‍රේණියේ තැපැල් සහයක තනතුරට තෝරාගත් 731 දෙනෙකු සඳහා ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය ලබන සදුදා අරලියගහ මන්දිර පරිශ්‍රයේ දී සිදුකිරීමට නියමිතයි.

2021 වර්ෂයෙන් පසු තැපැල් දෙපාර්තුමේන්තුවට ස්ථිර තැපැල් සහයක බඳවාගැනීම් සිදුකර නැහැ.

ඒ හේතුවෙන් පසුගිය වර්ෂය අවසානය වන විට තැපැල් දෙපාර්තුමේන්තුවේ තැපැල් සහයක පුරප්පාඩු 1982 ක් පැවති අතර එවන් පුරප්පාඩු සංඛ්‍යාවක් සමඟ දෙපාර්තුමේන්තුවේ කටයුතු පවත්වා ගෙන යාමට හටගෙන ඇත්තේ දැඩි අර්බුධකාරී තත්ත්වයක්.

ඊට විසඳුමක් ලෙස අදාළ පුරප්පාඩු සංඛ්‍යාවෙන් 1000ක් බඳවා ගැනීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ඉල්ලීම පරිදි පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණා.

තවත් තැපැල් සහයකයන් 269 දෙනෙකු ඉදිරියේ දී බඳවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය මේ වන විටත් කටයුතු කරමින් සිටිනවා.