නාරංගල කඳු තරණයට ගිය තරුණයන් 22ක් අතරමං

හාලිඇල නාරංගල කන්ද තරණය කිරිමට ගිය දේශීය තරුණ කණ්ඩායම් තුනක් අද (4) පස්වරුවේ පතිත වූ ධාරාණිපාත වර්ෂාවත් අධික සුළං තත්වයත් හේතුවෙන් කඳු මුදුණේ අතරමං වී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

කණ්ඩායම් තුනක සාමාජිකයන් 22ක් මෙසේ කඳු මුදුණේ අතරමං වී සිටින බවත් ඔවුන් නිරුපද්‍රිතව බේරා ගැනිමට මේ වනවිටත් කන්දේගෙදර පොලිසියේ නිළධාරින් පිරිසක් සහ බදුල්ල එළදලුව යුධ හමුදා කඳවුරේ යුධ හමුදා කණ්ඩායමක් පිටවී ගොස් සිටින බවත් කන්දේගෙදර පොලිසිය සඳහන් කරනවා.

මීගමුව ප්‍රදේශයේ පදිංචි මෙම පිරිස අද (4) පස්වරුවේ නාරංගල කන්ද තරණය කිරීමට යාමේදී මෙසේ හදිසියේ ඇති වූ ධාරානිපාත වර්ෂාව සමඟ හමාගිය දැඩි සුළඟින් ඔවුන් කඳු මුදුණේ ඉදිකර තිබු කුඩාරම් ගැළවී සුළ‍ෙඟ් ගසාගෙන ගොස් මෙසේ අතරමං වී ඇති බවට වාර්තා වෙනවා.

සුළඟ සහ අධික ශීතල හේතුවෙන් ඔවුන් අපහසුතාවට පත්ව සිටින බවත් දැනට ඔවුන් සතුව ඇති ජංගම දුරකථන මාර්ගයෙන් දුරකථන සබඳතා පවත්වා ගෙන යමින් ඔවුන් කඩිනමින් මුදවා ගැනීමට කටයුතු කරන බවත් පොලිසිය සඳහන් කරනවා.