ලෝක සත්ත්ව දිනය අදයි

සතුන්ගේ අයිතිවාසිකම් සහ සුබසාධනය ගැන මිනිසුන්ට සිහිපත් කර දීම අරමුණු කරගත් ලෝක සත්ත්ව දිනය සෑම වසරකම ඔක්තෝබර් 4 එනම් අද දින ලොව පුරා සමරනු ලබනවා.

මෙම දිනය සැමරීමේ අදහස මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ, ජර්මානු ලේඛකයෙකු වූ හෙන්රිච් සිමර්මන් (Heinrich Zimmermann) විසින් වන අතර, ඔහු විසින් 1925 දී බර්ලින් නගරයේ පළමු වරට මෙම උත්සවය සංවිධානය කර තිබෙනවා.

1931 දී ෆ්ලෝරන්ස්හි පැවති ජාත්‍යන්තර සම්මේලනයකදී, සාන්තුවරයෙකු වූ අසීසියේ ශාන්ත ෆ්‍රැන්සිස්ගේ මංගල්‍යය දිනයවන ඔක්තෝබර් 4 වැනිදා එය වාර්ෂිකව සැමරීමට තීරණය කර තිබෙනවා.

යුක්රේනයේ මෙම දිනය 2000 වසරේ සිට නිල වශයෙන් සමරනු ලබනවා.

ස්වභාවධර්මය ආරක්ෂා කිරීම සඳහා වන බොහෝ ජාත්‍යන්තර ගිවිසුම් සහ නීති තිබියදීත්, සෑම පැයකටම සත්ව විශේෂ තුනක් පෘථිවියෙන් අතුරුදහන් වන අතර, සෑම දිනකම සත්ත්ව හා ශාක විශේෂ 70කට වඩා විනාශ වී යන බවටයි විශේෂඥන් සඳහන් කරන්නේ.

මෙම දිනය, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට සහ තමන්ව ආරක්ෂා කර ගැනීමට නොහැකි සතුන් රැක ගැනීමට මානව වර්ගයා සතු වගකීම සිහිපත් කිරීම අරමුණු කරනු ලබනවා.