රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් අරුණ විදානගමගේ හෙවත් කජ්ජාගේ ඥාතීන්ගෙන් සහ හිතවතුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව පොලිසිය පවසනවා.
පොලිසිය සඳහන් කළේ කජ්ජා නමැත්තාගේ බිරිඳගෙන් හෙළි වු කරුණු මත පොලිසිය මෙම සාක්ෂි ලබා ගැනීම තවදුරටත් සිදුකරන බවයි.
2012 වසරේ මැයි 17වනදා නාරාහේන්පිට පාර්ක් වීදිය අසලදී සිය මෝටර් රථය තුළදී රගර් ක්‍රීඩකයෙකු වූ වසීම් තාජූඩීන්ගේ මළ සිරුර හමුවූ අතර එවකට එය රිය අනතුරකින් සිදුවූ මරණයක් බවට ප්‍රකාශ වුණා.
එහෙත් 2015 වසරේදී වසීම් තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බවට පවුලේ සාමාජිකයින් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමත් සමඟ තාජුඩීන් මරණය යළි කරළියට පැමිණියා.
මේ සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව යටතේ ද පරීක්ෂණ ආරම්භ වූ අතර එහි ප්‍රගතිය පිළිබඳව විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පොලිසිය පැවසුවේ වසීම් තාජුඩීන් ඝාතනයට ලක් වූ දිනයේ ඔහුගේ මෝටර් රථය පසුපස හඹාගිය මෝටර් රථයේ ගමන් කර ඇත්තේ මිද්දෙණියේදී ඝාතනය වූ කජ්ජා නමැත්තා බව පොලිස් විමර්ශනවලදී හෙළිවූ බවයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකෙරුණු අතර, පොලිසිය පැවසුවේ තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් කජ්ජාගේ ඥාතීන්ගෙන් සහ හිතවතුන්ගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවයි.
කජ්ජා නමැත්තාගේ බිරිඳගෙන් හෙළි වු කරුණු මත පදනම්ව තවදුරටත් සාක්ෂි ලබා ගැනීම සිදුකරන බව ද පොලිසිය පැවසුවා.
මේ අතර, ඉන්දුනීසියාවේදි අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් සන්තකයේ තිබු ජංගම දුරකථන 31 ක් ඔස්සේද මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළා.