මෝදරින් හමුවූ ජීව අත් බෝම්බ 10 ගැන රස පරීක්ෂක වාර්තාවක් කැඳවයි

මෝදර අලු‍ත් මාවත ප්‍රදේශයේ නගර සභා වැඩ බිමක් අසල පාසල් බෑගයක තිබී සොයාගත් අත්බෝම්බ 10 නිශ්ක්‍රීය කර රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තා කැඳවීමට අධිකරණය පොලිසියට නියෝග කර තිබෙනවා.

ඒ, පොලීසිය විසින් ඊයේ අධිකරණයට මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලද තොරතුරක් මත විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් මෙම බෝම්බ තොගය සොයාගෙන තිබුණා.

ඒ අනුව කරුණු දක්වමින් පොලිසිය අධිකරණයට දැනුම්දුන්නේ සැකකරුවන් අනාවරණය කර ගැනීම සඳහා සීසීටිවී දර්ශන ඔස්සේ විමර්ශන සිදු කරන බවයි.

එමෙන්ම කතරගම – වෙහෙරගල ජලාශයේ තිබී හමුවූ පතොරම් සහ මැගසින් තොගය මීට මාස 3ක පමණ පෙර එම ස්ථානයට රැගෙන එන්නට ඇති බවට සැකකෙරෙනවා.

කතරගම – වෙහෙරගල ජලාශයේ සොරොව්ව ආසන්නයේ තිබී මෙලෙස සොයාගත් සංග්‍රාමික උපකරණ අතර ටී 56 මැගසින් 215ක්, එල්.එම්.ජී ඩ්‍රම් මැගසින් 38ක්, එම්.පී.එම්.ජී 200 මැගසින් 11ක්, එම්.පී.එම්.ජී 100 මැගසින් 09ක් සහ ටී 81 මැගසින් 6ක් තිබු බවයි පොලිසිය සඳහන් කළේ.