ගෝලීය තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමානතාවේ පසුබෑමක් මතුව ඇති බවට හඳුනාගෙන ඇත. 2006 වසරේදී රටවල් 115ක් අතුරින් ශ්‍රී ලංකාව 18 වැනි ස්ථානය හිමි කරගෙන තිබුණ ද, 2025 වසරේදී රටවල් 148ක් අතුරින් ශ්‍රී ලංකාව 130 වැනි ස්ථානයට පත්ව ඇති බව අනාවරණය වී තිබේ.
කලාපයේ වඩාත්ම බලගතු පුද්ගලයන්ගෙන් ඇතැමෙක් කාන්තාවන් වුව ද පුරුෂයන් සමඟ සැසඳීමේදී සැලකිය යුතු අසමානතාවක් හඳුනාගෙන ඇති බව ද සිදු කළ විමර්ශනය මඟින් අනාවරණය වී ඇත.
ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාන්තාවන් (UN Women) වැඩසටහන මඟින් සිදු කළ විමර්ශනයකින් මේ බව අනාවරණය වී ඇත. මෙම විමර්ශනයට අදාළ ප්‍රධාන සොයාගැනීම් හා නිර්දේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙත පසුගියදා භාර දී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපති අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම වාර්තාව භාර දී ඇත.
මෙම පර්යේෂණයේ අඩංගු කරුණු වැදගත් වන බැවින් එම පර්යේෂණයට අදාළ අවසන් වාර්තාව සංසදයට යොමු කරන ලෙස කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි, අමාත්‍ය සරෝපා පෝල්රාජ් මහත්මිය මෙහිදී සඳහන් කළාය. එමෙන්ම ඉදිරි අය-වැය සකස් කිරීමේදී කාන්තාවන් බලගැන්වීම උදෙසා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට මුදල් වෙන් කිරීමට අමතරව සෑම අමාත්‍යාංශයකටම ඔවුන්ගේ විෂය පථයෙහි කාන්තාවන් බලගැන්වීම උදෙසා මුදල් වෙන් කිරීමට තමන් යෝජනා කළ බව සංසදයේ සභාපතිවරිය වැඩිදුරටත් පැවසුවාය.
කාන්තා ආර්ථික සවිබලගැන්වීම, පාලනය සහ තීරණ ගැනීමේදී කාන්තා නායකත්වය, කාන්තාවන්, සාමය සහ ආරක්ෂාව, කාන්තාවන්ට සහ ගැහැනු ළමයින්ට එරෙහි හිංසනය වැළැක්වීම යන අංශවලට මූලික අවධානය යොමු කරමින් පරීක්ෂණය සිදු කළ බව මෙහිදී එම වැඩසටහනේ නියෝජිත පිරිස අදාළ පර්යේෂණය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළහ.
ඒ අනුව ගෝලීය තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමානතාවයේ පසුබෑමක් මතුව ඇති බවට හඳුනාගත හැකිවූ බව එම නියෝජිත පිරිස පැවසූහ. 2006දී ශ්‍රී ලංකාව රටවල් 115කින් 18 වැනි ස්ථානයේ සිටි නමුත් 2025 දී ශ්‍රී ලංකාව රටවල් 148කින් 130 වැනි ස්ථානයේ පසු වන බව ද ඔවුහු පෙන්වා දුන්හ. කෙසේ වෙතත්
කලාපයේ වඩාත්ම බලගතු පුද්ගලයන්ගෙන් සමහෙරක් කාන්තාවන් නමුත් පුරුෂයන් සමඟ සැසඳීමේදී සැලකිය යුතු අසමානතාවක් හඳුනාගෙන ඇති බව ද පෙන්වා දුන්නේය.
එමෙන්ම ප්රජාතන්ත්රවාදය සඳහා වෙස්ට්මිනිස්ටර් පදනම (WFD) ඔස්සේ පළාත් පාලන ආයතනවල සිට ජනාධිපති ධුර තෙක් මෙරට කාන්තාවන් පැමිණි ගමන්මඟේ ඔවුන්ට මුහුණ දීමට සිදුවූ අභියෝග හා ධුරයට පැමිණීමෙන් පසු මුහුණ පෑමට සිදු වන අභියෝග පිළිබඳව අධ්‍යයනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ද සභාපතිවරිය පැවසුවාය.
එහිදී ඔවුන්ගේ කාර්යභාරය පැහැදිලි කරමින් ශ්‍රී ලංකාවේ කාන්තාව සවිබලගැන්වීම සඳහා වූ පදනමේ දායකත්වය ලබාදිය හැකි බව එම පදනමේ නියෝජිත පිරිස පැවසූහ. ඒ අනුව එම යෝජනා සංසදය වෙත ඉදිරිපත් කරන ලෙස සභාපතිවරිය පැවසුවාය.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන (ආචාර්ය) කෞශල්‍යා ආරියරත්න, ඔෂානි උමංගා, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, නීතිඥ තුෂාරි ජයසිංහ, නීතිඥ අනුෂ්කා තිලකරත්න, ඒ. එම්.එම්.එම්. රත්වත්තේ, නීතිඥ හසාර ලියනගේ, අම්බිකා සාමිවේල් මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ස්වර්ණා විජේකෝන්, මහින්ද අලුත්ගෙදර, සන්ධ්‍යා කරුණාරත්න