මිද්දෙණිය ප්‍රදේශයේ අයිස් කන්ටේනර් දෙකක් සඟවා තබාගැනීමේ සිද්ධියේ සැකකරුවකු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන අපේක්ෂක සම්පත් මනම්පේරි නමැත්තා මෙයට අවුරුදු 16කට පෙර ද්‍රවිඩ ව්‍යාපාරිකයකු බියගන්වා සහල් ලොරියක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ (30) වරෙන්තු නිකුත් කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ විත්තිකරු වෙනුවෙන් නීතිඥ කල්ප පෙරේරා මහතා කරුණු දක්වමින් සිය සේවාදායකයා රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින බව දන්වා සිටියේය. ඒ අනුව චුදිත පිළිබඳ වාර්තාවක් සපයන ලෙස මහාධිකරණ විනිසුරුවරයා බන්ධනාගාරයට නියෝග කළේය.
නඩුවේ 4 වැනි විත්තිකරු වන නෙරංජන් පෙරේරා නමැත්තා ද ඊයේ (30) නඩු විභාගයට ඉදිරිපත් නොවූ අතර, ඔහු වෙනුවෙන් නීතිඥ රාහුල් ජයතිලක මහතා කරුණු දැක්වීය. සිය සේවාදායකයා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ සිද්ධියකට මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් බන්ධනාගාරගත කර සිටින බව නීතිඥවරයා දන්වා සිටියේය. විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ කටයුතු කළ සමයේ සම්පත් මනම්පේරි නමැත්තා ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්ත කොස්තාපල්වරයකු ලෙස සේවය කර ඇති අතර, ඔහුගේ මෙහෙයවීම යටතේ එවකට අගමැති ආරක්ෂක අංශයේ සේවය කළ හිටපු පොලිස් කොස්තාපල් ඉන්දික දළදාවත්ත ඇතුළු හිටපු පොලිස් නිලධාරීන් පිරිසක් මෙම කොල්ලකෑම කර ඇත.
විත්තිකරුවන් 2009 වසරේ අගෝස්තු මස 12දා නාරහේන්පිට මංසන්ධිය ආසන්නයේ දී පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිට නැඟෙනහිර පළාතේ සිට කොළඹට සහල් ගෙන්වීම කළ සෙල්වදොරෙයි කොළවෙන්නාදන් නමැති ද්‍රවිඩ ව්‍යාපාරිකයා බියගන්වා සහල් ලොරියක් හා ඔහු සන්තකයේ තිබුණු මුදල් හා ජංගම දුරකතනය කොල්ලකා තිබේ.
නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 14 වැනි වගන්තිය යටතේ අධිචෝදනා 7ක් යටතේ නඩු පවරා ඇත. විත්තිකරුවන් කොල්ලකා ඇති සහල් ලොරියේ වටිනාකම රුපියල් ලක්ෂ 10කට ආසන්න වේ.
විත්තිකරුවන් කොල්ලකෑමේ පොදු අරමුණින්, නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස ක්‍රියාකිරීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන් 4 දෙනකුට එරෙහිව චෝදනා ගොනුකර ඇත.
එම විත්තිකරුවන් මෙයට පෙර ද අවස්ථා කිහිපයකදී ද්‍රවිඩ ව්‍යාපාරිකයන් බියගන්වා කොල්ලකෑ බවට චෝදනා එල්ලවී ඇත. එමෙන්ම සම්පත් මනම්පේරි ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළ සමයේ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනයේ සැකකරුවකු ලෙස ද අත්අඩංගුවට ගැනුණි.
චන්දන ජයවීර