ජාතික ජන බලවේගයට එරෙහිව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල අද (29) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
ඒ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් විසින් ලබා ගන්නා ලද මාසික වැටුප පක්ෂ අරමුදලට යොමු කිරීමෙන් දේශපාලන කටයුතු සිදු කිරීම සම්බන්ධවය.
අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උදය ගම්මන්පිල පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දෙන මාසික දීමනාව තමන්ට අවැසි ආකාරයට වියදම් කළ නොහැකි බවය.
ඒ අනුව මාසිකව කෝටි 3කට වඩා වැඩි මුදලක් ආණ්ඩුවේ මන්ත්‍රීවරු 159 දෙනා විසින් ලබා ගනිමින් එය පක්ෂ අරමුදල වෙත බැර කර දේශපාලන කටයුතු වෙනුවෙන් යොදා ගැනීම මහජන මුදල් අවභාවිත කිරීමක් වන බවත් ඒ අනුව මේ සම්බන්ධව විමර්ශනය කරන ලෙස ඉල්ලා තමන් අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කළ බවත් ඔහු පැවසුවා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල
“මේ මුදල් දුරකතන බිල් ගෙවන්න, ඉන්ධන, සහ කාර්යාල නඩත්තු කරන්න යොදන මුදල් පක්ෂ අරමුදලට යවලා දේශපාලන කටයුතුවලට යොදා ගැනීම මහජන මුදල් අවභාවිතා කිරීමක්. මාසෙකට කෝටි 3කට වඩා වැඩි මුදලක් සියලුම මන්ත්‍රීවරු 159 දෙනාගෙත් ජනාධිපතිවරයා ඇතුළු 160 දෙනාගේත් මහජන මුදල් අවභාවිතා කිරීමේ දූෂණය සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා මේ 160 දෙනාටම නීතිය ක්‍රියාත්මක කරන්න කියලායි අපි අද අල්ලස් කොමිසමට ආවේ.”
2025 සැප්තැම්බර් මස 29 වන දින
අධ්යක්ෂ ජනරාල්තුමා
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
36 මලලසේකර මාවත
කොළඹ 7
හිතවත් අධ්යක්ෂ ජනරාල්තුමනි
මහජන අරමුදල් දේශපාලනික අරමුණු වෙනුවෙන් යෙදවීමෙන් ජාතික ජන බලවේගය සිදු කරන දූෂණයට නීතිය ක්‍රියාත්මක කිරීම
ජාතික ජනබලවේගය නියෝජනය කරන සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ද ජනාධිපතිවරයාගේ ද සමස්ත වැටුප් සහ දීමනා එහි ප්‍රධාන දේශපාලන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ අරමුදලට ලබා දෙන බවත් තම නඩත්තුව සඳහා පක්ෂ අරමුදලින් දීමනාවක් ලබා ගන්නා බවත් එම පක්ෂයේ මන්ත්‍රිවරයෙකු වන දේවානන්ද සුරවීර මහතා ප්‍රකාශ කරයි. (ඇමුණුම 1 බලන්න).
පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු දළ වශයෙන් මාසයකට රු 340,000ක පමණ දීමනා ලබයි (ඇමුණුම 2 බලන්න). 2024 අප්‍රේල් මස වැටුප් පත්‍රිකාව අනුව එකී දීමනාව සැකසෙන්නේ පහත දැක්වෙන පරිදිය.
දීමනාව
රුපියල්
මාසික දීමනාව
54,285.00
සංග්‍රහ දීමනාව
1,000.00
දුරකතන දීමනාව
50,000.00
කාර්යාල දීමනාව
100,000.00
ඉන්ධන දීමනාව
103,000.00
ප්‍රවාහන දීමනාව
15,000.00
පැමිණීමේ දීමනාව
15,000.00
කමිටු සහභාගී දීමනාව
2,500.00
එකතුව
340,785.00
මෙම දීමනා අතුරෙන් මන්ත්රිවරයෙකුට සිය කැමැත්ත පරිදි වියදම් කළ හැක්කේ මාසික දීමනාව, පැමිණීමේ දීමනාව සහ කමිටු සහභාගි දීමනාව පමණි. ඒ අනුව 2024 අප්‍රේල් මස මන්ත්රිවරයෙකුට ලැබුණු දීමනා වලින් තමන් කැමැති පරිදි වියදම් කළ හැක්කේ රු71,285.00කි. එනම් පක්ෂ අරමුදලට පරිත්‍යාග කළ හැක්කේ රු71,285.00කි.
අන් සෑම දීමනාවක්ම ලබා දෙන්නේ නිශ්චිත අරමුණක් ඉටු කර ගැනීමටයි. එබැවින් එම මුදල් වැය කළ යුත්තේ ලබා දෙන අරමුණ ඉටු කිරීමටයි. ඒ අනුව රු100,000.00ක් වූ කාර්යාල දීමනාව භාවිතා කළ යුත්තේ තම මැතිවරණ කොට්ඨාශය තුල කාර්යාලයක් නඩත්තු කිරීමටයි. කාර්යාල කුලිය, විදුලි බිල්පත්, ජල බිල්පත් සහ නඩත්තු වියදම් සඳහා එම මුදල වැය කළ යුතුය. එසේම ඉන්ධන දීමනාව භාවිතා කළ යුත්තේ මැතිවරණ කොට්ඨාශය පුරා සංචාරය කර මහජන ගැටළු හඳුනා ගැනීමට සහ උත්සව හා රැස්වීම් වලට සහභාගි වීමටය. ප්‍රවාහන වියදම් භාවිතා කළ යුත්තේ තම කාර්ය මණ්ඩලයේ මහජන සේවා සඳහා වන ප්‍රවාහන වියදම් ආවරණය කිරීමටයි. සංග්‍රහ දීමනාව භාවිතා කළ යුත්තේ තමන් හමුවීමට පැමිණෙන ජනතාවට අවම වශයෙන් තේ කෝප්පයකින් සංග්‍රහ කිරීමටයි. දුරකතන දීමනාව භාවිතා කළ යුත්තේ තම දුරකතන, පැකුම් සහ අන්තර්ජාල සබඳතාවල මාසික බිල්පත් පියවීමටයි.
මේ අනුව නිශ්චිත මහජන සේවයකට වැය කිරීමට ලබා දෙන අරමුදල් තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයකට යෙදවීම මහජන මුදල් අවභාවිතා කිරීමකි. දූෂණයකි. එබැවින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 159 දෙනා ද ජනාධිපතිවරයා ද මෙම දූෂණය නමැති වරද සිදුකර ඇත. එබැවින් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු.
ඉහත දැක්වූ දේවානන්ද සුරවීර මන්ත්‍රිතුමාගේ ප්‍රකාශය අනුව සෑම මන්ත්‍රිවරයෙකුටම ජාතික ජන බලවේගය විසින් මාසික දීමනාවක් ලබා දුන්නත් කිසිම මන්ත්‍රිවරයෙකු තමන්ගේ ආදායමක් ලෙස එකී දීමනාව සිය වත්කම් ප්රකාශනයේ සඳහන් කර නොමැති බව ඔබ කොමිෂන් සභාව විසින් ප්‍රසිද්ධ කරන ලද වත්කම් ප්‍රකාශන නිරීක්ෂණය කිරීමෙන් පෙනේ. එබැවින් ජනාධිපතිවරයා ද ජාතික ජන බලවේගයේ සෑම මන්ත්‍රිවරයෙකු ද මෙම දීමනාව පිළිබඳ සඳහන් නොකිරීමෙන් ඔවුන් සියළුම දෙනා දූෂණ විරෝධි පනත යටතේ රුපියල් ලක්ෂ දෙකක දඩයක් සහ වසරක සිර දඬුවමක් ලැබිය හැකි වරදක් කර ඇති බව පෙනේ. එබැවින් ඔවුන්ට එරෙහිව නොපමාව නීතිය ක්‍රියාත්මක කරන මෙන් අපි කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටිමු.
මෙයට
දේශප්‍රේමිත්වයෙන්
පිවිතුරු හෙළ උරුමය