දරු ගුරු දෙගුරු සබඳතා විනාශ කිරීමට නීති ගෙන එන බවට චෝදනා

දරුවන් විනයානුකූලව ගොඩනගන්නට ගුරුවරුන්ට, දෙමව්පියන්ට හා පවුලේ සාමාජිකයන්ට තිබෙන අවකාශය නැති කරමින් ඊට අදාළව අණ පනත් සම්මත කර ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ චෝදනා නගනවා.

ජාතික නිදහස් පෙරමුණේ බත්තරමුල්ල කාර්යාලයේදී අද (29) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් විමල් වීරවංශ , මේ දිනවල සමාජයේ අවධානයට ලක්ව තිබෙන ”උණුසුම් මාතෘකා කිහිපයක්ම” සාකච්ඡාවට ලක් කරමින් ”ආන්දෝලනාත්මක” අදහස් ගණනාවක් දක්වනු ලැබුවා

මෙහිදී විමල් වීරවංශ කියා සිටියේ අවුරුදු16 වන විට දරුවා ගෙදරින් එළියට දමා ඒ දරුවාට ලිංගික ක්‍රියාකාරකම් සඳහා නිදහස ලබාදී, එමගින් පවුල් සම්බන්ධතා නැතිකොට “පවුල” නමැති ශක්තිමත් ඒකකය සීසීකඩ විසුරුවා දමා, එමගින් දරුවන්, දෙමාපියන්, ගුරුවරුන් අතර ඇති මානුෂීය සම්බන්ධතා නැත්තටම නැති කොට ”ඔත්පල වූ මානසිකත්වයකින් යුතු විකෘති සමාජයක්” බිහි කිරීම බවයි.

එමගින් LGBTQ පන්නයේ ලිංගික ප්‍රවණතා ප්‍රවර්ධනය කිරීමට හා මත්ද්‍රව්‍ය ව්‍යාපෘති දෙගුණ තෙගුණ සිව්ගුණ කිරීමට මෙන්ම ගණිකා ව්‍යාපාරය වැනි පහසුවෙන් මුදල් හරි හම්බ කිරීමේ ව්‍යාපෘතිවලටද උත්තේජන සපයන සමාජයක් හා නීතිමය වටපිටාවක් රටේ බිහිවන බව විමල් වීරවංශ අවධාරණයය කළා.

අද මෙම ”ලිබරල් ප්‍රතිපත්ති” කරපින්නාගෙන හරිනි අමරසූරියලා හා පෝල්රාජ්ලා අපේ රටේ සමාජය විපරීත කරන්නට උත්සාහ කළත් ඇමරිකානු වත්මන් ජනාධිපති ”ඩොනල්ඩ් ට්‍රම්ප්” ප්‍රමුඛ නූතන බටහිර සමාජය එම සමාජ විකෘතියට එරෙහිව නව සටනක් ආරම්භ කර ඇති බව වීරවංශ පෙන්වා දුන්නා.

ට්‍රම්ප් මහතා දිවුරුම් දෙද්දී “මේ රටේ ඉන්නේ ගැහැණු සහ පිරිමි” විතරයි කියා විශේෂයෙන් අවධාරණය කළේ ඇමරිකානු සමාජයේ LGBTQ ප්‍රවණතාවන්ට බරපතළ අතුල් පහරක් දීමට බව වීරවංශ කයා සීටීයා.

ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ “ඇමෙරිකාවේ ක්‍රිස්තියානි පවුල් සංස්ථාව හා සම්ප්‍රදායික චින්තනය හා හර පද්ධතිය” ස්ථාපිත කරන්නට ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන යන සටනට තරුණ සමාජ ක්‍රියාකාරිකයකු වන “චාලි කර්ක්”ට පසුගියදා සිය ජීවිතයෙන් පවා වන්දි ගෙවන්නට සිදුවූ බවයි.

මේ රටේ ළමයින්ට හා දරුවන්ට යම් අසාධාරණයක් අවැඩක් අගතියක් වන්නේ නම් ඊට එරෙහිව ක්‍රියාත්මක වීමට අලුත් නීතිරීති පනත් ගෙන එන්නට පෙර අද තිබෙන නීති රීති ප්‍රමාණවත් බවද ඔහු සඳහන් කළා.

දරුවෙකුට මානසිකව හෝ කායිකව යම් හිංසනයක් වන්නේ නම් ඒ ගැන පැමිණිලි කිරීමට හොඳ “ඔබ්බුඩ්ස්මන්” පදවියක් දැන් තිබෙන නීතිය අනුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ කලාප කාර්යාලවලට පවා පත් කළ හැකි බව වීරවංශ පෙන්වා දුන්නා.

දරුවන්ගේ මානසික පීඩනය හා මානසික අසහනය ඇතිවන්නේ ගුරුවරුන් නිසාවත් දෙමාපියන් නිසාවත් නොවන බව පෙන්වා දුන් විමල් වීරවස කීවේ ඊට හේතුව ”කට පාඩම් කිරීමේ සංස්කෘතියට අනුව ගොඩනැගුණු අධ්‍යාපන ක්‍රමය” බවයි.

දරුවෙකුට ඉහළට යාමට ”සාම්ප්‍රදායික කලා ,වාණිජ විද්‍යා ගණිත හා තාක්ෂණ” විෂය ධාරාවන්ට අමතරව ”හැකියාව” හා ”දක්ෂතාවය”උරගා බලන අධ්‍යාපන ක්‍රමවේදයක අවශ්‍යතාවය ද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ එම වෙනස්කම් ඇති නොකර මේ ආකාරයෙන් නීතිය හා අණ පනත් මගින් ගුරුවරුන්ගේ හා දෙමව්පියන්ගේ අත් පා බැඳ දමන්නට රජය මෙසේ කටයුතු කරයි නම් කොන්ඩ වවාගෙන ටැටූ කොටාගෙන කොට ඇඳුම් ඇඳගෙන පාසැල් එන දරු පරපුරක් අනාගතයේදී බිහිවනු ඇතැයි පෙන්වා දුන් වීරවංශ “ටීචර් දැන් අපට ගහන්න බනින්න හිත රිද්දන්න එන්න එපා. දැන් අලුත් පනතත් ඇවිල්ලා. එහෙම වුණොත් අපි නීතියෙන් ඇක්ෂන් ගන්නවා…” යනුවෙන් ගුරුවරුන්ට පවසා ඔලොක්කු කරන දිනය වැඩි ඈතක නැතැයි පෙන්වා දුන්නා.