අධිචෝදනා බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ගොනු කර ඇති රිට් පෙත්සම නොවැම්බර් 24 වැනිදා විභාගය සඳහා කැඳවන ලෙස අභියාචනාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
හිටපු අමාත්‍ය පාඨලී චම්පික වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමරසිරි පණ්ඩිතරත්න කළ ඉල්ලීමක් සලකා බැලූ විනිසුරුවරයා, මෙම නියෝගය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.
2016 පෙබරවාරි මස 28 වැනිදා රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන්, පසුගිය ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව, නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණා.
එම අධිචෝදනා ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත්, ඒවා ප්‍රතික්ෂේප කරන ලෙසත් සිය නීතිඥවරු මූලික විරෝධතා මතු කළද, එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණය විසින් අදාළ නඩුව විභාගයට ගැනීමට නියම කළ බවයි පෙත්සම්කරු පෙන්වා දී තිබෙන්නේ.
කොළඹ මහාධිකරණයේ එම තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කොට, එම තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා, පාඨලී චම්පික රණවක විසින් අභියාචනාධිකරණය හමුවට පැමිණ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.