බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ රඳවා සිටින සම්පත් මනම්පේරිගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මිද්දෙණිය ප්‍රදේශයෙන් හමුවු අයිස් මත්ද්‍රව්‍ය සහිත කන්ටේනර් දෙක සම්බන්ධයෙන් තවත් කරුණු රැසක් අනාවරණ කර ගැනීමට විමර්ශන නිලධාරීන් සමත්ව තිබෙනවා.
ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ බැකෝ සමන්ගේ දැනුම්දීම මත එම කන්ටේනර් දෙක මිද්දෙණිය ප්‍රදේශයට රැගෙන ගියද එහි ඇති ද්‍රව්‍යවලින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ හැකි බවට තමන් දැනගත්තේ ඉන් දින කිහිපයකට පසුව බවයි.
මිද්දෙණිය ප්‍රදේශයේදී හමුවු අයිස් මත්ද්‍රව්‍ය සහිත රසායනික ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ සම්පත් මනම්පේරි නමැත්තා අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව මේ වන විට රඳවා සිටින්නේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේයි.
පෙරේදා දිනයේදී ඔහු එම කොට්ඨාසය වෙත රැගෙන ආ අතර, මේ වනවිට වරාය පොලිස් ස්ථානයේ රඳවා සිටිනවා.
විමර්ශන නිලධාරීන් විසින් ඊයේ දිනයේදී ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබු අතර, එහිදි අදාළ කන්ටේනර් දෙක සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් අනාවරණ කර ගැනීමට හැකි වුණා.
සම්පත් මනම්පේරි විසින් එහිදී පවසා තිබුණේ විදේශ ගතව සිටි බැකෝ සමන් නමැත්තා අත්අඩංගුවට පත්වීමට පෙර වට්ස්ඇප් මාර්ගයෙන් තමන්ට එම කන්ටේනර් දෙක භාරගන්නා ලෙසට දැනුම් දුන්නද එහි අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන ද්‍රව්‍ය අඩංගු බවට ඒ වන විට තමන් නොදැන සිටි බවයි.
එහිදී බැකෝ සමන් විසින් අයියේ කන්ටේනර් දෙකක් තියෙනවා. ඒ දෙක නිදහස් කරගන්න ඕන. මට ඒක කරලා දෙන්න පුලුවන්ද ? යනුවෙන් සම්පත් මනම්පේරිගෙන් විමසා තිබෙනවා.
ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු සදහන් කර ඇත්තේ ලෙඩක් වැටෙන දෙයක්ද මල්ලී යනුවෙන්.
එහිදී බැකෝ සමන් විසින් ප්‍රකාශ කර ඇත්තේ එහෙම දෙයක් නෙවෙයි අයියේ. ගල් වගයක් එන්නේ. වරායෙන් නිදහස් කරලා තියෙන්නේ. අයියට තියෙන්නේ ගිහින් ගන්න විතරයි ” යනුවෙන්.
ඒ අනුව සම්පත් මනම්පේරි තවත් පුද්ගලයෙකු සමඟ ගොස් අදාළ කන්ටේනර් දෙක සිය භාරයට ගෙන මිද්දෙණිය ප්‍රදේශයට ගෙනවිත් තිබු අතර, ඊට අදාළ ලියකියවිලි බැකෝ සමන් විසින් සම්පත් මන්ම්පේරිට වට්ස්ඇප් මාර්ගයෙන් එවා තිබුණා.
ඊට සම්පත් මනම්පේරිගේ සහෝදරයෙකු වන පියල් මනම්පේරි නමැත්තාගේ සහාය ද ලැබි තිබෙනවා.
සම්පත් මනම්පේරි විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇති කරුණුවලට අනුව ඔහු එහි අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ හැකි රසයානික ද්‍රව්‍ය තොගයක් ඇති බවට දැනගෙන ඇත්තේ එම කන්ටේනර් දෙක මිද්දෙණියට රැගෙන ගොස් දින දෙකකට පසුවයි.
එහිදි සම්පත් මනම්පේරි විසින් බැකෝ සමන් නමැත්තාට දැනුම් දී ඇත්තේ, මල්ලි මේක තනිකර ලෙඩක්. කරන දෙයක් ඉක්මනට කරගන්න”ලෙසයි.
බැකෝ සමන් සමඟ සිටි පානදුරේ නිලංගගේ කණ්ඩායමක් විසින් අදාළ රසායනික ද්‍රව්‍ය තොගය කොටස් වශයෙන් නුවරඑළිය, හම්බන්තොට සහ කඳාන යන ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම ආරම්භ කර තිබුණේ ඒ අනුවයි.
කෙසේ වෙතත්, කෙහෙල්බද්දර පද්මේ ඇතුළු කණ්ඩායම ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව බියට පත් සම්පත් මනම්පේරි නමැත්තා සිය සහෝදරයා සමඟ එක්ව ඒවා වල දැමීමට පියවර ගෙන තිබුණා.
පසුව තමන් මිද්දෙණිය ප්‍රදේශයෙන් පළා ගිය බව විමර්ශන නිලධාරීන් විසින් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා තිබෙනවා.
ඒ අතරතුර ඔහු බැකෝ සමන් සහ දරූන් නමැත්තා හරහා හඳුනාගත් මන්නාරම ප්‍රදේශයේ කේරල ගංජා ජාවාරම්කරුවෙක් වන ටයිගර් නමැත්තාගේ සහායෙන් බෝට්ටුවක් ආධාරයෙන් ඉන්දියාවට පළා යෑමට ද සැලසුම්කර තිබු ඇති බවට විමර්ශන නිලධාරීන් විසින් අනාවරණ කරගත්තා.
මේ අතර, සම්පත් මනම්පේරි අපරාධ කල්ලි සමඟ පැවති සබඳතා හෙළි කර ගැනීම සඳහා ඔහුගේ ජංගම දුරකථනය සොයා ගැනීමට විමර්ශන නිලධාරීන් උත්සහ කළත් තවමත් එම ජංගම දුරකථනය සොයා ගැනීමට හැකිව නැහැ.
ඒ සම්බන්ධයෙන් ද පොලිසිය ඔහුගෙන් ප්‍රශ්නකර තිබුණා.
”සර් මම හිටපු පොලිස්කාරයෙක්. ඒ හින්දා මම දන්නවා ජංගම දුරකථනය අහුවුණොත් මොකද වෙන්නේ කියලා. ඒ හින්දා වැල්ලවත්තේදී ඒක කෝච්චිවයට තියලා විනාශ කරලා දැම්මා” යනුවෙන් ඔහු පිළිතුරු දී තිබෙනවා.
කෙසේ වෙතත් බැකෝ සමන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ කරගත් කරුණු පදනම් කරගනිමින් සම්පත් මනම්පේරි සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකෙරෙනවා.
පොලිසිය පැවසුවේ බැකෝ සමන්ට අයත් ගිනි අවි ප්‍රවාහනය කිරීම, මත්කුඩු සහ මත්ද්‍රව්‍ය ජාවරමේ යෙදීම, කේරල ගංජා ප්‍රවාහනය සහ ගනුදෙනු කිරීම ඇතුළු අපරාධ කිහිපයකට ඔහු සම්බන්ධ බවට සම්පත් මනම්පේරි විසින් පිළිගෙන ඇති බවයි.
රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවට ඔහු පැවසුවද ඒ සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදුකෙරෙනවා.
එමෙන්ම, ඔහු විවිධ දේශපාලනඥයින් සමග සබඳකම් පවත්වමින් සිදුකල යම් යම් අපරාධ සම්බන්ධයෙන් ද පරීක්ෂණ පැවැත්වෙන අතර, බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගලගේ සහ එම කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් අදාළ විමර්ශන ක්‍රියාත්මකයි.