අනුරපුර 95%ක් බස් රථ ධාවනය වන්නේ භූමිතෙල්වලින් බව ඔප්පු වෙයි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ධාවනය වන පළාත් , අන්තර්පළාත්, සිසු සැරි, සිසු ප්‍රවාහන සේවා,ඇඟලුම් ප්‍රවාහන සේවා හා කාර්යාල ප්‍රවාහනයේ යෙදෙන බස් රථ වලින් 95%ක් බස් රථ ධාවනය වන්නේ භූමිතෙල් වලින් බව උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති කණිෂ්ක මුදිත් ප්‍රසන්න මහතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැනට ධාවනය වන බස් රථ වලින් පළාත තුළ,පළාතින් පිටතට යන (අන්තර්පළාත්),සිසු සැරි, සිසු ප්‍රවාහන සේවා, ඇඟලුම් ප්‍රවාහන සේවා හා කාර්යාල ප්‍රවාහන සේවාවේ යෙදෙන බස් රථ බෙහොමයක් භූමිතෙල් වලින් ධාවනය කරන බව උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති කණිෂ්ක මුදිත් ප්‍රසන්න මහතාට නිරන්තරව පැමිණිළි ලැබී තිබේ.

මේ පිළිබඳව මඟීන් විසින් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට ද පැමිණිලි කර තිබිණි.ඒ අනුව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරිය වෙත ද ලිඛිතව මෙම ගැටළුවේ සත්‍ය අසත්‍යතාවය සොයා බලන ලෙස දන්වා ඇත.

ඒ අනුව උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති කණිෂ්ක මුදිත් ප්‍රසන්න මහතා සිය ජංගම පරීක්ෂක කණ්ඩායම සමඟ අනුරාධපුර මූලස්ථාන පොලීසියේ සහයෝගය ඇතිව හදිසි වැටලීම් කිහිපයක් පසුගිය දිනවල ස්ථාන කිහිපයක දී සිදු කරන ලද අතර අවසානයේ බස් නැවතුම්පළ වලට ගොස් බස් රථ වල භාවිත කරන්නේ ඩීසල් ද නැතහොත් භූමිතෙල් ද යන්න පරීක්ෂා කර තිබේ.

මෙහිදී බොහෝ රියදුරු සහ කොන්දොස්තරවරුන් තම බස් රථ වල ආදායම් තත්ත්වය ඉහල නංවා ගැනීමටත් බස් හිමියා විසින් ලබා දුන් උපදෙස් අනුව සමහර පිරිස් මෙසේ භූමිතෙල් කලවම් කර බස් රථයට භාවිත කරන බව පවසන ලදී.තවත් සමහරෙක් විවිධ අනුපාත යටතේ වැඩි වශයෙන් භූමිතෙල් ද අඩු වශයෙන් ඩීසල් ද භාවිත කරන බව මෙහිදී අනාවරණය විය.

මෙය විශාල පරිසර හානියක් සේම, ජීවිත අවදානමේ හෙලීමක් බව උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපතිවරයා විසින් පෙන්වා දෙන ලදී.මෙවර දැනුවත් කිරීමක් වශයෙන් භූමිතෙල් භාවිතයෙන් ඉවත් වන ලෙසත් මේ වන විට බස් කර්මාන්තය නිවැරදි දිශානතියකට යොමු කරමින් පවතින නිසා ඒ සඳහා අප සැම වෙනස් විය යුතුයි.ඒනිසා මෙවැනි පහසුකාරක කියා වැරදි දේවල් වලට යොමුවීම තුල මඟීන්ගේ මෙන්ම රියදුරු කොන්දොස්තරවරුන්ගේ ජීවිත අවදානමේ හෙලීම නොකර මෙවැනි විෂමාචාර ක්‍රියා වලින් ඉවත් වන ලෙස ද උපදෙස් ලබා දීමට පියවර ගෙන තිබුණි.

ඇතැම් පිරිස් එම අවස්ථාවේදී කලහකාරී ලෙස හැසිරුණු අතර මාධ්‍යවේදීන්ට කැමරාකරණය නොකරන ලෙස ද ඔවුන් තර්ජනය කරන ලදී. තවත් පිරිස් බස් රථ සැඟවීම ද සිදු කරන ලදී.