ස්ථාවර නියෝග සංශෝධන යෝජනාවක්

2026 විසර්ජන පනත් කෙටුම්පත, වැඩබලන මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

2026 මුදල් වර්ෂය සඳහා වන රජයේ වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත පසුගිය සැප්තැම්බර් මස 18 වන දා ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරුණා.

ජාතික ජනබලවේග රජය සිය දෙවන අයවැය ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මෙම විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434ක්.

එළැඹෙන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 634ක් වනවා.

මේ අතර, කෝප් කමිටුවේදී අනාවරණය වන බරපතල මූල්‍ය වංචා හෝ දූෂණ ක්‍රියාවන්ට එරෙහිව නෛතික පියවර ගැනීමට අදාළව ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා යෝජනාවක් ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

ඒ අනුව මෙම යෝජනාව සළකා බැලීමට ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන ලද අතර අනතුරුව අදාළ ඉදිරි පියවර ගැනීමට නියමිතයි.