වසන්ත සමරසිංහ, මහින්ද ජයසිංහ සහ රන්ජන් ජයලාල් අත්අඩංගුවට ගැනීමට කළ ඉල්ලීමක් අධීකරණයෙන් ප්‍රතික්ෂේප කෙරේ

‘නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට්’ නම් ආයතනයට අයත් දෙහිවල පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක්, ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ 36 ක මුදලකට බදු දී, වංචාවක් සිදුකර ඇති බවට චෝදනා කොට, වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන අය අත්අඩංගුවට ගන්නා ලෙස කළ ඉල්ලීමක් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න විසින් එම ඉල්ලීම සිදු කළ අතර, විමර්ශන ගොනුව නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති පසුබිමක සහ මේ සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් සිදු කර ඇති විමර්ශනවලට අනුව අපරාධමය වරදක් සිදුවී ඇති බවට කරුණු අනාවරණය නොවීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවයි සඳහන් වන්නේ.

2025 පෙබරවාරි 19 වැනිදා මෙම විමර්ශන ගොනුව නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති බව අධිකරණයට දන්වා ඇති අතර, පසුගිය නඩුවාරවලදී නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් සහ අමාත්‍ය වසන්ත සමරසිංහ යන අය කොළඹ වංචා විමර්ශන කාර්යාංශය හමුවට පැමිණ ප්‍රකාශ ලබා දී ඇති බවත්, සියලුම ප්‍රකාශ සටහන් කර අවසන් බව වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් පවසා තිබෙනවා.

කෙසේ වෙතත්, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගරු අධිකරණය දෙවරක් පැහැදිලිව නියෝග කර තිබුණද, පොලිසිය එම නියෝග ක්‍රියාත්මක නොකොට නීතිපති උපදෙස් අවශ්‍ය බව පවසමින් අධිකරණය නොමඟ යවන බවට අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මෙහිදී චෝදනා කර තිබෙනවා.

මෙම නඩුව 2026 පෙබරවාරි 27 වැනිදා යළි කැඳවීමට නියමිතයි.