රජය සංවේගය පළ කරයි

මැල්සිරිපුර පන්සියගම නා උයන ථේරවාද බෞද්ධ ආරණ්‍ය සේනාසනයේ සිදු වූ හදිසි අනතුරින් භික්ෂූන් වහන්සේලා හත්නමක් අපවත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජය සහ පාර්ලිමේන්තුව වෙනුවෙන් සංවේගය පළ කරන බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) ප්‍රකාශ කළේය.

අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මේ බව සඳහන් කළේ, සිදුවූ හදිසි අනතුර සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. විදේශීය භික්ෂුන් වහන්සේලාගේ ආදාහන කටයුතු මේ රටේදීම සිදු කිරීමට ආරණ්‍ය සේනාසනයේ නායක හිමියන් ඉල්ලීමක් කර ඇති බැවින් ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව ද ඇමතිවරයා පැවසීය.

අමාත්‍යවරයා මෙසේ ද ප්‍රකාශ කළේය,

“මේ සිද්ධියෙන් තවත් හය නමක් තුවාල ලබලා තියෙනවා. එයින් දෙනමක් දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලබනවා. අපවත් වී වදාළ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් රජය සහ පාර්ලිමේන්තුව වෙනුවෙන් ශෝකය පළකර සිටිනවා. එම භික්ෂුන් වහන්සේලාගෙන් සිවු දෙනකු ශ්‍රී ලංකාවේ භික්ෂුන් වහන්සේලා. තුන්නමක් විදේශීය ස්වාමීන් වහන්සේලා.

මේ තොරතුර ලැබුණු වෙලාවේ ඉඳලාම අපි මැදිහත් වීම් කළා. නියෝජ්‍ය ඇමැති ගමගෙදර දිසානායක ඒ ස්ථානයට පිටව ගියා. වයඹ ආණ්ඩුකාරතුමා වයඹ සෞඛ්‍ය ලේකම්තුමිය අදාළ වෛද්‍යවරුන් කඩිනම් මැදිහත් වීම් කරලා තියෙනවා.

විදේශීය භික්ෂුන් වහන්සේලාගේ අවසන් කටයුතු මේ රටේදීම කිරීමට ආරණ්‍ය සේනාසනයේ නායක හිමියන් ඉල්ලීමක් කරලා තියෙනවා. දැන් ඒ අවශ්‍ය කටයුතු කෙරෙමින් තිබෙනවා. ප්‍රතිකාර ලබන ස්වාමීන් වහන්සේලාට නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා. අද රාත්‍රී ආදාහන කමිටුව රැස් වෙනවා. රජය මේ සම්බන්ධයෙන් ඉහළම මැදිහත් වීම කරනවා.“

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

“අපවත් වූ වදාළ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ශෝකය සංවේගය පළ කර සිටිනවා. අපිත් ඒ ආරණ්‍ය සේනාසනයට ගොස් දාන මාන කටයුතුවලට සහභාගි වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් රජයේ මැදිහත් වීම අගය කොට සලකනවා. අපේත් අවශ්‍ය සහයෝගය දෙනවා.“