මත්ද්‍රව්‍ය අඩංගු ලොරි රථ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනා, රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලීසියට අවසර ලබාදී තිබෙනවා.

අදාළ මත්ද්‍රව්‍ය සොයාගත් ලොරි රථ දෙකක හිමිකරුවන් දෙදෙනෙකු සහ රෝහලේ දී මියගිය ‘උනාකූරුවේ තුසිත’ යන අයගේ පුත්‍රයෙක් තංගල්ල මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන 29 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට මෙලෙස නියෝග ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සොයාගත් එක් ලොරි රථයක හිමිකරුවෙකු සහ එහි රියදුරු ද ලබන 29 වැනිදා තෙක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පෙරේදා දිනයේදී අධිකරණය විසින් නියෝග කර තිබුණා.